දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව නෙත් නිවුස් නිවුස් වෙත වාර්තා වුණා. ඉන්ධන සදහා ඉල්ලුම ඉහළ යාම ඊට හේතුව බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කළේ.
සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ. ඊට හේතුව වී ඇත්තේ ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස පෙට්‍රල් එක්රැස් කර ගැනීමයි. ඒ අනුව දෛනිකව මෙට්ට්‍රික් ටොන් 4,000 බැගින් පෙට්‍රල් බෙදාහැරීමටයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත්තේ.
පෝලිම්වල රැදී සිටි එම පිරිස සිය රථවලට පෙට්‍රල් ලබාගැනීමෙන් පසු ඒවා කෑන් සහ බූලිවලට ගබඩා කර යළිත් එම දිනයේම පෝලිම්වල රැදී සිටිමින් පෙට්‍රල් ලබා ගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා. එලෙස ඉන්ධන අනවසරයෙන් ගබඩා කළ පුද්ගලයන් 137 දෙනෙකු ඉකුත් දින කිහිපය තුළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
වැටලීම්වලින් සොයාගත් පෙට්‍රල් ලීටර් ප්‍රමාණය 27,000 ක්. ඩීසල් ලීටර් 22,000 ක්ද එහිදී සොයාගත් බව පොලීසිය පැවසුවා. සොයාගෙන ඇති භූමිතෙල් ලීටර් ප්‍රමාණය 10,000 කට ආසන්නයි.
මෙලෙස ඉන්ධන අනවසරයෙන් ගබඩා කර වැඩි මිලට විකුණන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වේ නම් 118, 119 හෝ 19 යි 97 යන අංකවලට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය පැවසුවා.
මේ අතර ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් නිකුත් කිරීමද සීමා කර ඇති බවයි වාර්තා වුණේ. විදුලිය උත්පාදනය සදහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් නිකුත් කිරීමට පියවර ගැනීම ඊට හේතුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සදහන් කළා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඩීසල් පෝලිම් ද යළිත් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.
Neth