Friday, February 13, 2026
Follow Us
ඉන්ධන මිල සංශෝධනය සෑම සති 02කට වරක් හෝ මාසිකව සිදුකරනවා - බලශක්ති අමාත්‍ය

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඉන්ධන මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, සෑම සති දෙකකට වරක් හෝ මාසිකව මිල සුත්‍රය ක්‍රියාත්මක කරන බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේ කරුණු පැහැදිළි කර සිටියි,

" ඉන්ධන මිල අද අළුයම 3 සිට සංශෝධනය කරනු ලබනවා. මිල සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළා. මිල සංශෝධනයේදී ආනයනය කිරීමේදී ඇතුලත් වන සියලු ගාස්තු, ගොඩබෑම් සඳහා ඇතුලත් වියදම්, ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සහ බදු යන සියලු වියදම් ඇතුළත් කර ඇත. එම එහිදී ලාභ ගණනය කිරීමක් සිදුකර නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. සූත්‍රය සෑම දෙසතියකට වරක් හෝ මාසිකව භාවිතා කරනු ලැබේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ ප්‍රවාහනයට බාධා නොවන ආකාරයෙන් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳවත් සාකච්ඡා කරන ලෙස ප්‍රවාහන අංශයෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම අද සිට ආයතන ප්‍රධානියාගේ මඟපෙන්වීම මත රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සිදුකරනු ලබන බවත් ඉන්ධන භාවිතය අවම කිරීම සහ බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කරනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

(Neth)