ඩීසල් ප්‍රශ්නයට යම් සහනයක්
රට තුළ ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත පවතින්නේ තවත් එක් දිනකට පමණක් බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“මේ වනවිට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබෙනවා. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ, මැයි 19 වනදා සහ ජූනි 1 වනදා තවත් ඩීසල් නෞකා දෙකක් මැයි 18 සහ මැයි 29 වනදා පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අද දිනට දින 40කට වැඩි කාලය සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොරතෙල් සහ දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා. විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනයට යොදා ගන්නේ ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩතියෙනවා. නමුත් අපි මේ සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන තියෙනවා.”
(Aruna)