වර්ජනයේ නිරතව සිටින ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග හෙට (20 වැනිදා) තීරණාත්මක සාකච්ඡාවක් පවත්වයි.
මෙම සාකච්ඡාවේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් දැනට ක්‍රියාත්මක වර්ජනයට අමතරව මෙම මස 22 වැනිදා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ද එම එකමුතුව තීරණය කර තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම, වසර ගණනක් තිස්සේ පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම හා ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග නතර කිරීම යන ඉල්ලීම් මෙම එකමුතුව ඉදිරිපත් කර ඇත. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා හෙට (20 වැනිදා) අමාත්‍යාංශයට පැමිණෙන ලෙස වෘත්තීය සමිති එකමුතුවට දැනුම් දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹ 2 ගුරු මැදුර ශාලාවේ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
තමන් ඇතුළු පිරිස නිරෝධායනයෙන් නිදහස් කළ පමණින් වෘත්තීය සටන නතර නොවන බවත් තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් කී හෙතෙම අධ්‍යාපන ඇමැතිවරයා වෘත්තීය සමිති සමග මෙම සාකච්ඡාව පවත්වන්නේ සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මුල් වරට බවත් සඳහන් කළේය.
(Aruna)