Monday, February 23, 2026
Follow Us
18 ට වැඩි තරුණයන්ට හමුදා පුහුණුව - පොලිස් ඇමති යළිත් කියයි

වයස අවුරුදු 18 ඉක්මවූ තරුණයන්ට හමුදා පුහුණුව ලබාදිය යුතු බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල විය. විවේචකයන් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දෙයන් බලයට පත් ආණ්ඩුව මිලිටරි ආණ්ඩුවක් බවට පත්වෙමින් යන බවයි.

එල්ල වූ විවේචන හමු‍වේ යටපත්ව ගිය මෙම යෝජනාව පිළිබඳව සරත් වීරසේකර මහතා යළිත් සිහිපත් කර තිබෙනවා. පානදුර අලුබෝමුල්ල සහ හිරණ යන ප්‍රදේශවල අලුතින් ස්ථාපිත කළ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කප්පම්කාරයන්, පාතලය, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යන පංච මහා ව්‍යසන යටපත් කරන තුරු බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකළ නොහැකි බවත්, ඒ සඳහා අවුරුදු 18 න් ඉහළ සියලු තරුණයන්ට හමුදා කඳවුරු තුළ විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බවත් වීරසේකර මහතා පවසනවා. මීට පෙර මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී තරුණයන්ට හමුදා පුහුණුව ලබාදෙන බවට හා රට මිලිටරිකරණය කරන බවට චෝදනා එල්ල වූ බවත් පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ හමුදා කඳවුරක පුහුණුව ලබාදුන් පමණින් එය හමුදා පුහුණුවක් නොවන බවයි.

හමුදා කඳවුරු තුළ මෙම පුහුණුව ලබාදීමට යෝජනා කරන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් තිබෙන්නේ හමුදාව සතුව පමණක් නිසා බවද ඇමතිවරයා පවසනවා. මෙය විනයගරුක පුරවැසියන් නිර්මාණය කිරීමේ පුහුණුවක් පමණක් බවත්, අනාගත පරපුර විනයගරුක නොකර රටේ විනය සකස් කළ නොහැකි බවත් වීරසේකර මහතා සඳහන් කරනවා.

(LNW)