Monday, February 23, 2026
Follow Us
උද්ඝෝෂකයින් පෙනී සිටිය යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් නොවෙයි - ජනපති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ. පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ.

උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරන බවත් එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිතුමා සඳහන් කළේ.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම - 2021” ට සමගාමීව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කලේ තරුණ විරැකියාව, 2014 වසරේ දී 4%ක් දක්වා පහතට පැමිණිය ද 2019 වන විට එය 16% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පවතින ගෝලීය තත්ත්වය මත තරුණ විරැකියාව 30% ක් දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, උපාධිය තුළින් නිපුණතා පිරි තරුණයෙකු බිහි විය යුතු බව සඳහන් කළේ. තරුණ පරපුර නව තාක්ෂණය සමග මුසුව නූතනත්වය කරා ගමන් කරමින් සිටියි. මෙහිදී ලෝකය හා එක්ව හැඩගැසීම වැදගත් බවත්, අවසානයේ දී ජයගත යුත්තේ ජීවිතය මිස අඛණ්ඩව රැගෙන ආ පුරුදු නොවන බව අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ.

උපාධි ලාභියෙකුගේ අපේක්ෂාව හොඳ රැකියාවක් වුව ද, කිසිදු රැකියාවකට ඇතැම් උපාධි පාඨමාලා නොගැළපීම නිවැරදි කිරීම වර්තමානය සතු වගකීමක් බවයි මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පෙන්වා දුන්නේ.

(Neth)