Monday, February 23, 2026
Follow Us
කොළඹ ගංවතුර පාලනය කිරීමට පියවර රැසක්

අධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.



නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ අගනගර ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් සිදුවන අහිතකර භෞතික හා සමාජයීය බලපෑම් අඩුකිරීම, යටිතල පහසුකම් හා සෞඛ්‍ය සේවා සැපයීම මෙන් ම පළාත් පාලන ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් මෙම සැලසුම ක්‍රියාවට නැංවීමෙන් මෙවර කොළඹ නගරය යට නොවී ගංවතුර පාලනය වීමට හේතු වූ බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පෙන්වා දෙයි.

ඒ අනුව ක්‍රියාත්මක කළ මෙම සැලසුම ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ වැසි ජල පොම්පාගාරය සහ ජල අගුළු දොරටුව ඉදිකිරීම යන ව්‍යාපෘති නමින් හදුන්වා දී තිබිණ.

නාගලගම් වීදිය අසල ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ ගංවතුර පාලනය කිරීම එහි තවත් ව්‍යාපෘතියක් බවට පත්ව තිබිණ.

ලෝක බැංකුවේ සහනදායී ණය සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

චයිනා - ජියෝ ඉන්ජිනේරු සමාගම කොන්ත්‍රාත්කරුවන් වන අතර, මෙම වැඩපිළිවෙළේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සහ පසු විපරම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ දකුණු කොරියානු දෝවා ඉන්ජිනියරින් සමාගම විසින් සිදු කරනු ලබයි.

ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ වැසි ජල පාලන ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන උප ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වේ.

මෙම උප ව්‍යාපෘතිය අරමුණු දෙකක් යටතේ ක්‍රියාත්මකයි.

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගංවතුර පාලන දොරටු වසා ඇති විට අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නාගරික ප්‍රදේශයේ ඇතිවන ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීමට තත්ත්පරයට ලීටර 30,000 ක උපරිම ධාරිතාවයකින් කැළණි ගඟට ජලය පොම්ප කිරීම එක් අරමුණකි.

කොළඹ උතුරු ඇළ මාර්ග පද්ධතියේ ජලය අඩු හා එහි ගුණාත්මකභාවය පහළ ගිය අවස්ථාවල ඇළ මාර්ග පද්ධතිය පිරිසිදු කර ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තත්ත්පරයට ලීටර 12,000 ක උපරිම ධාරිතාවයකින් ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගය හරහා කොළඹ උතුරු ඇළ මාර්ග පද්ධතියට කැළණි ගඟෙන් ජලය පොම්ප කිරීම එහි අනෙක් අරමුණයි.

(Dinamina)