Monday, February 23, 2026
Follow Us
පෙර පාසල් ගුරුවරුන්ට එන්නත දීම ගම්පහින් අද ඇරඹේ

පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (15) ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රට පුරා විසිරී සිටින පෙර පාසල් ගුරුවරුන් 38,000ක් සඳහා කොරෝනා එන්නත දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 13කදී කොවිඩ් එන්නත්කරණය කිරීමට නියමිතව තිබෙන අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හිදී මේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පේ, ගම්පහ, ජා-ඇළ, කටාන, කැලණිය, මහර, මිනුවන්ගොඩ, මීරිගම, මීගමුව, රාගම, සීදූව සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මේ සඳහා තෝරා ගෙන ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්ය මණ්ඩලය එන්නත්කරණය කිරීමෙන් අනතුරුව මවුපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් කරා යොමු කිරීමේ අවස්ථාව සැලසෙන අතර, ඒ අනුව පෙර පාසල් ගුරුවරුන් සහ පාසල් ගුරුවරුන් එන්නත්කරණය කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබේ.

පාසල් ගුරුවරුන්ද කොවිඩ් එන්නත්කරණය මේ වන විට ආරම්භ කර තිබෙන බව අතර, ඉදිරි කාල සීමාව තුළ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා සාකච්ඡා කරමින් සිටී. ඒ අනුව විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ පාසල් බොහොමයක් ඉතා ඉක්මනින් විවෘත කිරීමේ හැකියාව පවතී.

(Dinamina)