Monday, February 23, 2026
Follow Us
සද්භාවයෙන් රාජකාරී කරන රාජ්‍ය සේවක ආරක්ෂාව පිණිස නව නීති

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේදී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් සකස් කරන ලෙස අගමැතිවරයා නීති කෙටුම්පත් සම්පාදකයින්ට උපදෙස් දී තිබෙනවා. ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී (13) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදීය.

එම නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබා දෙන ලෙසද මෙහිදී දැනුම් දී තිබේ.

2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළහ.

නිලධාරීන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක්ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මෙහිදී කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේශ් ධර්මවර්ධන, අතිරේක ලේකම් (නීති) චන්ද්‍රා ජ‍යතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන, ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

(Lnw)