සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ කෙරුණා. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ සෘජුව නියැලී සිටින ලක්ෂ පහකට අධික පිරිස වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි. සාර්ථක එන්නත්කරණයකින් අනතුරුව රජය සූදානම් වන්නේ මෙම වර්ෂය අවසාන වනවිට සංචාරකයින් ගෙන්වා ගත හැකි රටවලින් මෙරටට සැළකිය යුතු සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමටයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ දැනටමත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් ගෙන්වීමේ ආයතන සහ ගුවන් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාව වට කිහිපයක් පවත්වා ඇති බවයි. ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීම වේගවත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. කෙටිකාලීනව වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගැනීමට හැකිවන පරිදි සංචාරකයින්ට සහන පැකේජයක් ලබාදිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.
මේ වනවිටත් මත්තල ගුවන් තොටුපළේ ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු සම්බන්ධයෙන් ගුවන් සමාගම්වලට සහන පැකේජයක් ක්‍රියාත්මකයි. එය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙම වැඩපිළිවෙලට සමගාමීව ඉදිරි සති තුන ඇතුලත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. එමගින් පැය තුනක් ඇතුලත ගුවන් මගීන්ගේ පී. සී. ආර් වාර්තා ලබා දීම සිදු කිරීමට නියමිතයි.
(Neth)