Monday, February 23, 2026
Follow Us
ගිනිගත් නෞකාවේ විෂ රසායන මුහුදට එකතු උනා කියලා තාම තහවුරු වෙලා නෑ - වරාය ඇමති

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් නෞකාව තුළ තිබූ විෂ රසායන සාගර ජලයට එකතු වී ඇති බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මෙම නෞකා අනතුරින් පසුව, මියගිය මුහුදු ජීවින් රැසකගේ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ නමුත් එම මුහුදු ජීවීන් මරණයට පත්වීම හා නෞකාවේ සිදු වූ අනතුරු අතර සබඳතාවක් තිබෙන බවටද මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ අනතුරින් පසුව‍ මේ දක්වා කැස්බෑවුන් 176 ක‍ගේ, ඩොල්ෆින් මත්ස්‍යයන් 20 කගේ සහ තල්මසුන් 04 කගේ මළසිරුරු දිවයින වටා මුහුදු වෙළරට ගොඩගසා තිබිණි. මීට අමතරව කුඩා මසුන් විශාල ප්‍රමාණයක්ද මරණයට පත්ව තිබිණි.

මෙම සිදුවීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරතවීමට නොහැකි වූ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල ධීවර ජනතාවට වන්දි ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ එම දිස්ත්‍රික්කවල පමණක් නොව තවත් දිස්ත්‍රික්ක ගණනාවක ධීවර කටයුතුවලට ‍බලපෑම් එල්ල වී ඇති බවයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ධීවරයන්ටද වන්දි ගෙවිය යුතු බව එම මන්ත්‍රීවරු අවධාරණය කළහ.

(LNW)