රුපියල් කෝටි පනස් එකකට අධික මුදලක් (රුපියල් පනස් එක්කෝටි හැට ලක්ෂයක්) වැය කරමින් දුෂ්කර පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම තීරණයට අනුව පාසල් හත්දහස් තුන්සිය හැත්තෑ තුනකට රූපවාහිනී යන්ත්‍ර පන්දහස් එකසිය විසි හතක් ලබා දීමට සැලසුම් කර ඇත. සිසුන් සියයට අඩු පාසල් සඳහා එක් රූපවාහිනී යන්ත්‍රයක් ද සිසුන් සියයත් දෙසියයත් අතර සංඛ්‍යාවක් සිටින පාසල් වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍ර දෙක බැගින් ද ලබා දීමට නියමිත ය.
අදියර දෙකක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මුල් අදියරේ දී පාසල් 4092ක් සඳහා රූපවාහිනී යන්ත්‍ර 5945ක් ද දෙවැනි අදියරේ දී පාසල් 1035ක් වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍ර 1428ක් ද ලබා දෙන බව එම අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට ඊයේ (08 වැනිදා) පැවසීය.
මුල් අදියර සඳහා වැය කෙරෙන මුදල රුපියල් හතළිස් එක්කෝටි හැටලක්ෂයක් වන අතර රුපියල් කෝටි දහයක් දෙවැනි අදියර වෙනුවෙන් වැය කෙරේ.
මුල් අදියරේ දී මධ්‍යම පළාතේ පාසල් 632ක් , නැගෙනහිර පළාතේ පාසල් 340ක් , දකුණු පළාතේ පාසල් 466ක් තෝරාගෙන තිබේ. බස්නාහිර පාසල් 402ක්,වයඹ පාසල් 567ක්, උතුරු මැද පාසල් 391ක් ද මුල් අදියරට අයත් ය. ඌව, සබරගමුව සහ උතුර යන පළාත් සඳහා පිළිවෙළින් පාසල් 475ක්, 497ක් සහ 322ක් තෝරාගෙන ඇත.
විදුලිය නොමැති පාසල් සඳහා අමාත්‍යාංශයේ වියදමින් විදුලිය
පාසල පිහිටි ප්‍රදේශයේ විදුලිය ඇතත් විදුලිය නොමැති පාසල් සඳහා අමාත්‍යාංශයේ වියදමින් විදුලිය ලබා දෙන බව ද ඉහත කරුණු දැක්වූ ප්‍රකාශකයා කීවේය. මෙලෙස රූපවාහිනී යන්ත්‍ර ලබා දෙන්නේ අධ්‍යාපනික වැඩසටහන්වලට සිසුන් යොමු කිරීමට බවත් ඉදිරියේ දී ඊ තක්සලාව ද මෙම රූපවාහිනී ඔස්සේ සිසුන් වෙත සමීප කිරීමට පියවර ගන්නා බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
(Aruna)