බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග ලේකම් ධුර කිහිපයක් වෙනස්වීමට නියමිත වේ. බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍ය ධුරය හිමිවීමට නියමිත වන අතර ඒ අනුව එම අමාත්‍යංශයේ ලේකම් ධුරයද වෙනස් වනු ඇත.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්.ආර්. ආටිගල මහතා කටයුතු කරන අතර ඔහු වෙනුවට ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට නියමිත වේ. ඔහු මේ වනවිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
මුදල් අමාත්‍යංශය දැනට අගමැතිවරයා සතු වන අතර ඒ අනුව ඔහු සිය අමාත්‍යංශය සහෝදරයා වෙත බාරදෙන්නේ තම ලේකම්වරයාද සමගිනි. මුදල් ලේකම් තනතුර සඳහා ගාමිණී සෙනරත් මහතාගේ නම යෝජනා කර තිබෙන්නෙද අගමැතිවරයා විසින් බවයි වාර්තා වන්නේ.
පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් තනතුර සඳහා දැනට ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලලිත් වීරතුංග මහතා පත් කිරීමට නියමිතය. ඔහු දශකයක පමණ කාලයක් ජනාධිපති ලේකම්වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළ අතර ඒ අනුව නැවතත් මහින්ද - ලලිත් සුසංයෝගය අරලියගහ මන්දිරයට පැමිණෙන බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
(LNW)