Tuesday, February 24, 2026
Follow Us
විදේශ සංචිත අර්බුදය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්

විදේශ සංචිත සම්බන්ධයෙන් ගැටුලුවක් පැවතියද මාස 03 කට අවශ්‍ය ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යාමේ ගැටලුවකට රට මුහුණ පා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රටට අවශ්‍ය සංචිත ප්‍රමාණය පවත්වාගෙන යාම මේ මොහොතේ අභියෝගාත්මක වී ඇති බවයි.

මේ අතර එළඹෙන ජූලි මාසයේදී විනිමය හුවමාරු පහසුකම් යටතේ බංග්ලාදේශ මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් සහ එළඹෙන අගෝස්තු මාසයේදි ඉන්දියානු සංචිත බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. දකුණු ආසියානු කළාපීය සහයෝගීතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමග දැනට සාකච්ඡා මට්ටමේ පවතින මුදල් හුවමාරු පහසුකම යටතේ ඩොලර් මිලියන දහසක මුදලක් ලබා ගැනීමට ද අපේක්ෂිත බවද මහ බැංකු අධිපති මහචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ප්‍රකාශ කර තිබෙනවා.

අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේශණ මගින් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

මේ අතර විදේශ විනිමය ගණුදෙණුවලට සම්බන්ධ බාහිර ප්‍රේෂණ අත්හිටුවීම සදහා දැනට පනවා ඇති නියෝග තවත් මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා. අදාල නියෝගවල වලංගු කාල සීමාව එළඹෙන ජූලි මස පළමුවෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ විදේශ සංචිත සහ විදේශ විනිමය වෙළදපොලට සිදු විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන එම නියෝග දීර්ඝ කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුවයි.

(Neth)