කොවිඩ් රෝගීන් නිවෙස්වල තබා රැකබලා ගැනීමේ වැඩසටහන ඊයේ (28) සිට නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම රෝගීන්ට උපදෙස් ලබාදීම සඳහා 1390 විශේෂ දුරකථන අංකය හඳුන්වා දීම ද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
මෙම අංකය ඔස්සේ රෝගීන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයක් සිදුකිරීමටත් රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අවම රෝගීන්, ඔවුන් පදිංචි ප්‍රදේශය ද සලකා බලා රෝහල්ගත කරන තෙක් නිවෙස් වල රඳවා තබා ප්‍රතිකාර කිරීමටත් තීරණය කර ඇත.
එහිදී වැඩි අවදානමක් සහිත රෝගීන් රෝහල්ගත කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදිය හැකි අතර නිවෙස්වල රඳවා තබන රෝගීන්ට දිනපතා දුරකථනය ඔස්සේ වෛද්‍ය කණ්ඩායමක් විසින් අධීක්ෂණය කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ද පසුගිය සති තුනක කාලයක් තුළ කළුතර දිස්ත්‍රික්කයේදී සාර්ථකව පැවැත්විණි.
ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ,
"අපි හොඳින් කොවිඩ් පළවෙනි රැල්ල පාලනය කළා. කොවිඩ් දෙවැනි රැල්ල අපි ඉතාම සාර්ථකව පාලනය කරමින් අප්‍රේල් මුල භාගය වනවිට රෝගීන් දවසකට 100ක් පමණ වාර්තා වෙන තත්වයකට ආවා. අති බහුතරයක් දිස්ත්‍රික්ක එකම රෝගියෙකුවත් වාර්තා නොවෙන තත්වයකට ගෙන එන්නට අපට පුළුවන්කම ලැබුණා.
රටක් විදියට බලාපොරොත්තුව තියෙන්නෙ මේ මාස්ක් එකක්වත් දාන්නෙ නැතුව යන තත්වයකට මේ රට නැවත ගේන්න. ඒවගේම රටක් විදියට, ආණ්ඩුවක් විදියට අපේ සූදානමක් තිබිය යුතුයි යම්කිසි විදියකට රටේ තිබෙන රෝහල්වල ධාරිතාවය ඉක්මවා යන මට්ටමට රෝගීන් ලංකාවේ ඇතිවුණොත් එහිදී රෝගීන් රැකබලා ගැනීමත් අපේ ප්‍රධානම වගකීමක්. නමුත් මේ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, වෛද්‍ය උපදෙස් ලබාදීම රජයක් විදියට ඒ වගකීම බාරගන්නට අපි සූදානම් වෙලා කටයුතු කරනවා" යනුවෙනි.
(LNW)