Tuesday, February 24, 2026
Follow Us
සීනි ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට සීනි ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කිරීමත් සමග වෙළෙදපොළේ සීනි මිල ඉහළ යාමේ අවදානමක් නිර්මාණය වී ඇත.

දැනට ලබා දී ඇති සියලුම වලංගු සීනි ආනයනය කිරීමේ බලපත්‍ර 2021 ජුනි 22 දා සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවන බව ආනයන අපනයන පාලක දමයන්ති එස්. කරුණාරත්න ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව දැනට ඇණවුම් කර ඇති, එහෙත් මෙතෙක් නැව්ගත කර නොමැති සියලුම සීනි තොග මෙරටට රැගෙන ඒම නැවත දැනුම් දෙන තුරු මෙරට ආනයනය තහනම් වනු ඇත.

මෙම තීරණයත් සමග බලපත්‍රලාභී ආනයනකරුවන් 40 දෙනකු විසින් ඇණවුම් කර ඇති මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක පමණ සීනි තොග මෙරටට ආනයනය අත්හිටුවීමට ලක්ව ඇති බව ආනයන අපනයන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘අරුණ’ සමග පැවසීය.
රටේ දැනට පවතින ඩොලර් සංචිත හිඟය හේතුවෙන් රජය විසින් මෙම තීරණය ගෙන ඇති නමුත් දැනටමත් රට තුළ අවශ්‍යතාවට වඩා වැඩි සීනි තොගයක් පවතින බවද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මෙලෙස සීනි ආනයනය තහනම් කිරීමත් සමග ඊයේ (23 වැනිදා) පිටකොටුව තොග වෙළෙඳුන් සතුව රුපියල් 110ට පැවැති සුදු සීනි සහ රුපියල් 116ට පැවැති රතු සීනි කිලෝවක තොගමිල රුපියල් 8 සිට 10 දක්වා මිලකින් ඉහළ දැමීමට ඇතැම් වෙළෙඳුන් කටයුතු කර තිබිණි. දැනට වෙළෙඳපොළේ සුදුසීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 140 ආසන්නයේ පවතින අතර රතු සීනි කිලෝවක් රුපියල් 150ක මට්ටමේ පවතී. මෙලෙස රජය විසින් සීනි ආනයනය අත්හිටුවීමට තීරණය කිරීමත් සමග දැනට සීනි තොග රැස්කර ඇති අපනයනකරුවන් මෙන්ම තොග වෙළෙඳුන්ද සීනි තොග සඟවමින් මිල ඉහළ දැමීම ආරම්භ කර ඇතැයි වෙළෙඳාපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

(Aruna)