Tuesday, February 24, 2026
Follow Us
හෙට අලුයම සිට දිස්ත්‍රික්ක 12කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදෙකලා කෙරේ

හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා බවට පත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත හෙට අලුයම 4.00 සිට හුදකලා භාවයට පත් කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් බල ප්‍රදේශයේ යටිහේන ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී කොට්ඨාසයත් හුදකලා භාවයට පත්කර තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් මහවස්කඩුව දකුණ සහ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් මිනේරිතැන්න සුනාමි ගම්මානය හුදකලා භාවයට පත්කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

 

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි පොලිස් බලප්‍රදේශයේ නව වලතපිටිය ගම්මානය හුදකලා කෙරෙන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ එරාවුර් ග්‍රාමනිලධාරී වසම සහ වාලච්චේනෙයි පොලිස් බල ප්‍රදේශයේ මීරවෝදී නැගෙනහිර, මීරවෝදි බටහිර සහ මැන්චකෝලායි බදුරිය ග්‍රාම නිලධාරී කොට්ඨාස හෙට අලුයම සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයට අයත් දාපනේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයත්, රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කැළඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලේ කන්ද වත්ත සහ කොට්ටල ග්‍රාම නිලධාරී කොට්ඨාස ද හුදකලා භාවයට පත් කර ඇත.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි පොලිස් බල ප්‍රදේශයේ සාවට්කඩ්ඩු ග්‍රාම නිලධාරී වසමද හුදකලා භාවයට පත් කර ඇත.

මේ අතර අමතරව මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශයට අයත් පැලෑන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද හෙට අලුයම සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල පොලිස් බල ප්‍රදේශයේ දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයත් ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ කිවුලවාඩිය සහ ගුරුවෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසත් හුදකලා භාවයට පත් කෙරෙනු ඇත.

හෙට අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ මරක්කලගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය හුදකලා භාවයට පත් කිරිමට නියමිත බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයේ කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස හුදකලා කෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව පොලිස් බල ප්‍රදේශයේ ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම හුදකලා කිරිමට නියමිතයි.

(Neth)