සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මම ඊයේ (17) උපදෙස් දුන්නෙමි.
ඒ, රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින් ද උත්සව සංවිධානය වේ.
රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව මිහින්තලා වටරවුම් මාර්ගය පිළිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ඉල්ලා සිටියහ.එම ඉල්ලීම ඉතා කඩිනමින් ඉටු කර දෙන ලෙස මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතාට ඒ මොහොතේ දී ම උපදෙස් දුන්නෙමි.
සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේ දී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා ලැබී නැතැයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන් සොයා බලා පවතින දෝෂ නිවැරදි කර සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි.
මෙයට අමතරව සිතුල්පව්ව රජ මහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරතන නාහිමියෝ විහාරස්ථානයේ මාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. යාල වනෝද්‍යාන මධ්‍යයේ පිහිටි සිතුල්පව්ව රජ මහා විහාරයේ මාර්ග පද්ධතිය බොරලු අතුරා පිළිසකර කරන ලෙස ද මහා මාර්ග අමාත්‍යංශ ලේකම්තුමාට දැනුම් දුන්නෙමි.
සිතුල්පව්ව රජ මහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරතන නාහිමියෝ සහ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කොට වදාළහ.
එසේ ම මෙම හමුව සඳහා අමාත්‍යවරු වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
(Prime Minister Media)