Tuesday, February 24, 2026
Follow Us
ඔන්ලයින් මත් පැන් අලෙවියට අවසර දෙන්න මුදල් අමාත්‍යංශයෙන් ප්‍රශ්ණ වැලක්

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ක්‍රියාත්මක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ, සුපිරි වෙළදසැල් ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්.

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර ලබා දෙන්නේ නම් ඊට අදාල වන නීති රෙගුලාසි සහ අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුද, ගෙවීම් කරන ආකාරය ආදී කරුණු සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් අමාත්‍යංශය දැනුම්දී ඇත්තේ.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බාල වයස්කරුවන් මත්පැන් ඇණවුම් කළහොත් ඇතිවිය හැකි තත්ත්වයන් සහ එවැනි අවස්ථා ඇතිවීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙසද මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට අදාළ ඉල්ලීම ඉදිරිපත් කළේ විවිධ පාර්ශවයන්ගෙන් යොමු වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි. සංචරණ සීමා පැනවීමත් සමග නීති විරෝධි මත්පැන් භාවිතය ඉහළයාම, මත්පැන් සදහා කළු කඩ මිලක් නිර්මාණය වී තිබීම ආදී කරුණු හේතුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවා.

(Neth)