Tuesday, February 24, 2026
Follow Us
මිලිලීටර් 750 හිස් බෝතලයට මුදල් තැන්පතුවක්

මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එකතුවීම වැලකීම සඳහා විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මේ අතර එම බෝතල් නිපදවීම තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දී ඇත.

එබැවින් මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා එම බෝතල් මිලදී ගන්නා විට කිසියම් මුදලක් තැන්පතුවක් වශයෙන් තබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
මේ අනුව හිස් බෝතලය නැවත බාර දී අදාළ තැන්පත් මුදල යළි ලබා ගත හැකිය. එසේම හිස් බෝතලය ඉවතට වීසි කළද වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර බාරදීම මගින් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකි බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම යෝජනාවට අදාළ සමාගම් එකඟත්වය පළ කර ඇති අතර දැනට යෝජනා වී ඇති පරිදි එම තැන්පතු මුදල රුපියල් 10කි.
ඒ අනුව මෙරට තුළ එවැනි බෝතල් ප්‍රතිචක්‍රියකරණය කළ හැකි කර්මාන්තශාලාවක් නොමැති බැවින් මෙම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එක්ව ඒකාබද්ධ ප්‍රතිචක්‍රියකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර ඉදිරි කාලයේදී භාවිතය අවම කිරීමට පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ලැයිස්තුවක් සකස් කර තිබෙන බවද පරිසර අමාත්‍යාංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(Aruna)