Wednesday, February 25, 2026
Follow Us
රෝගීන් 2000ක් වාර්තා වෙනකොට PCR නොකර තව 2000ක් සමාජයේ ඉන්න පුළුවන් - සුදර්ශනී

දෛනිකව දළ වශයෙන් කොවිඩ් රෝගීන් 2000ක් පමණ වාර්තා වුවද PCR පරීක්ෂණයට ලක් නොවුණු, රෝග ලක්ෂණ නොපෙන්වන තවත් රෝගීන් 2000ක් පමණ සමාජයේත් සිටිය හැකි බවත් සතියක් තුළ මෙය 8000 දක්වා වර්ධනය විය හැකි හෙයින් අවදානම් තත්වයක් ඇති බවත් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

"PCR නොකර කිසිම රෝග ලක්ෂණයක් නැතිව සමාජයේ කොවිඩ් ආසාදිතයින් ඉන්න පුළුවන්. ඒනිසා මම හිතන්නෙ දළ වශයෙන් අපි 2000ක් වාර්තා වෙනකොට ඒ හා සමාන සංඛ්‍යාවක් ඉන්න පුළුවන් සමාජයේ. එතකොට මේ 4000 දළ වශයෙන් දෙන්නෙකුට රෝගය බෝකෙරුවොත් සතියක් යනකොට 8000කට යනවා කියන එක ඉතාමත්ම සුළු දෙයක්. ඒනිසා අවදානමක් තියෙනවා. මේ අවදානම දැනගෙන පරිස්සම් වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලන්නෙ මේකයි.

මේකෙ තවමත් අපට පුළුවන් රෝගය පැතිරීම වළක්වාගන්න. ඒනිසා තමන් ආරක්ෂා කරගත්තොත් තමන්ට ICU ඇතිද, ඔක්සිජන් ඇතිද, ඇඳවල් ඇතිද කියලා ගනින්න ඕනෙ වෙන්නෙ නෑ. එනිසා තමා පරෙස්සම් වුණොත් රට පරෙස්සම් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ඉන්නෙ ලොකු වසංගතයක් අබියස. අවදානමක් තියෙනවා. එතකොට මේක කලින් වතාවට වඩා වෙනස්, මොකද වැඩිපුර අයට බෝවෙනවා වේගෙන්. ඒවගේම සංකූලතා එන එක හුඟාක් වැඩිවුණොත් මේක සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරිතරම් වැඩිවුණොත් අපට අමාරු වෙනවා පාලනය කරගන්න. අපි තවම ඉන්නෙ පාලනය කරගන්න පුළුවන් මට්ටමේ" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)