මෙරට කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට සහයෝගය පළ කරමින් කෘෂි අංශ කුසලතා සභාව විසින් වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇත.
මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය
දෙවන අදියර වනවිට වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ටම ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඊයේ (10) රාමඩා හෝටලයේ දී UNFAO, USAID හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව ආරම්භ කළ වී වගාවේ අස්වනු වැඩි කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළ දියත් කළ අවස්ථාවේ දී ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමේ වැඩපිළිවෙළ ද ආරම්භ කිරීමට කටයුතු කෙරිණි
රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්‍රෝන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවිජනතාවට වාසිදායක බව කෘෂි අංශ කුසලතා සභාව පෙන්වා දුන්නේය.
ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා නමුත් අපේ රටේ තවමත් ඒ සම්බන්ධව අවධානය යොමු වී නැත. මේ නිසා පළමුවරට මෙම යල කන්නයේ සිට වී වගාව සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අමාත්‍යවරයා අදාළ අංශවලට ස්තුතිය පළ කළේය.