Wednesday, December 31, 2025
Follow Us
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන 07ක්  එළිදකී

ආයුර්වේද සංස්ථාව මෙතෙක් ඉතිහාසයේ වැඩිම වෙළෙඳ ආදායම ලෙස රුපියල් මිලියන 1660 ක පිරිවැටුපක් වාර්තා කරයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07 ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් කුබ්ජ ප්‍රසාරණී තෛලය, බලා කෝරණ්ඩ තෛලය, පංචවල්කල චූර්ණය, සංස්ථා බෝන් මැරෝ පත්තුව යන ඖෂධීය නිෂ්පාදනයන් හා පිණ්ඩ බාම්, රත්හදුන් බොඩිවොෂ්, පංචවල්කල ෂැම්පූ යන ශාකසාර නිෂ්පාදන මෙලෙස එළිදක්වනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලියේ දී රාජ්‍ය අංශය ප්‍රමුඛව කටයුතු කරන අතර, 2024 වර්ෂයේදී රාජ්‍ය අංශය විසින් සිදුකරන ලද මිල දී ගැනීම් පදනම් කරගෙන එම ආයතන ඇගයීමට ලක් කිරීම ද මෙයට සමගාමීව සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම ගෙවුණු වසර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ආයතන ව්‍යුහයන්ගේ පදනම සකස් කර ගැනීම සහ මෙරට ආර්ථිකයේ විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයේ පදනම හා අඩිතාලම සකසා ගත් වසරක් වූ බවයි. පදනම ශක්තිමත් නොකර සැරසිලි සිදු කිරීමට ගියහොත් රටක් නොපවතින බවත්, සැරසිලිවල අවසන් ප්‍රතිඵල මෙරට ජනතාව පසුගිය කාලයේ මනාව අත්දැක ඇති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා  රට ශක්තිමත් වු පසු සැරසිලි සිදු කළ හැකි බව ද පැවසීය.

පසුගිය වසරේ පදනම ශක්තිමත් කිරීමේ ප්‍රතිඵල වාර්තමානයේ අත්විදීමට හැකියාව ලැබී ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක පමණක් නොව සංශෝධිත ආදායම් ඉලක්ක ද ඉක්මවා ඇති බවත් මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා මෙම වසර සංචාරකයින් ද වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණීම  වාර්තා කළ වසර බව ද පැවසීය. ඉලක්කය පැහැදිලි නම් යන මාවත හොදින් දර්ශනය වෙනවා සේම රටක් ලෙස තවත් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

ආයුර්වේද සංස්ථාව රුපියල් මිලියන 1660 ක් ලෙස එතෙක් මෙතෙක් කාලය තුළ වැඩිම ආදායම මෙම වසරේ වාර්තා කර ඇති බව ද මීටත් ඉහළ ඉලක්කයකට යාමේ හැකියාව ඇති බව ද තවදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම ආයතනය ලබා ඇති ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය පිළිබඳ සියලුම ගෞරවය සභාපතිතුමියගේ සිට 375 ක් වන සියලු කාර්ය මණ්ඩල වෙත හිමි වියයුතු බව ද පැවැසී ය.

ආයුර්වේද ක්ෂේත්‍රය යනු අප රටේ ජනතාවගේ සුවතාවය වෙනුවෙන් වැඩ කළ යුතු, රජය විසින් ආයෝජනය කළ යුතු, පර්යේෂණ කළ යුතු, එහි ප්‍රතිලාභ ජනතාවට නිරන්තරයෙන් ලැබිය යුතු ක්ෂේත්‍රයක් බවද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා නිරෝගී ශ්‍රී ලංකාවක් යන්න රජයේ එකම ප්‍රධාන අපේක්ෂාව බව ද පැවැසීය. 

මෙවැනි ආයුර්වේද නිෂ්පාදන ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට නිෂ්පාදනය විය යුතු බවත්, රජය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවධානය යොමු කරනවා සේම ආයුර්වේද නිෂ්පාදන සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමට කටයූතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 

වර්තමානය වනවිට නිෂ්පාදන 194 ක් සහ නිෂ්පාදන ඒකක 450 පමණ සිදුකරමින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කටයුතු කරනු ලබයි.

වසර 56 කට අධික කාලයක සිට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ආයුර්වේද ඖෂධ සහ ශාකසාර නිෂ්පාදන සිදුකර දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්, ආයුර්වේද බෙහෙත් ශාලා,ආයුර්වේද වෛද්‍යවරුන් සහ ජනතාව වෙත බෙදාහරිමින් ජාතික සුව සේවාවක නිරත වේ.