Friday, December 19, 2025
Follow Us
ආපදාවෙන් පසු ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ආපදා තත්ත්වය හමුවේ මෙරට දහසකට අධික ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබෙන අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී සඳහන් කළේය.

අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු එම ස්ථානවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගනිමින් සිදු කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් රැස් කිරීම මේ වන විට සිදු කෙරෙන බවත්, එම ස්ථානවලට අදාළ තාක්ෂණික ඇගයීම් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා මෙහිදී සඳහන් කළේය.එම කටයුතු වෙනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම, ඒ යටතේ පවතින ආයතනවල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා පැවසීය.

එමෙන්ම, හානි වූ ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම වෙනුවෙන් මේ වන විට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අරමුදලට විශාල වශයෙන් දානපතින්ගේ මූල්‍යමය පරිත්‍යාග ලැබෙමින් තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

අද රැස් වූ සභාව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරන සර්ව ආගමික කමිටුව ලෙස අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයයොමු වූ අතර ඒ අනුව, ඉදිකිරීම්වල ප්‍රගතිය නිරන්තරයෙන් මෙම කමිටුව වෙත ඉදිරිපත් කිරීමටත්, විනිවිදභාවයෙන් යුතුව අරමුදල සඳහා විදේශ ආධාර, විදේශ සංවිධාන, බෞද්ධ සංවිධාන සහ ආගමික සංවිධානවල ආධාර ලබා ගැනීමේ කටයුතු කමිටුවට භාර කිරීමටත් සාකච්ඡා කෙරිණි.

පුරාවිද්‍යාඥයන්ගේ සහ බිතු සිතුවම් සංරක්ෂකයන්ගේ මෙන්ම, වාස්තු විද්‍යාඥයන්ගේ දැනුම අවශ්‍ය වන ආපදාවෙන් ඉතා බරපතළ ලෙස හානි වූ සහ සාමාන්‍ය ඉදිකිරීම් යටතේ ඉදිකිරීමට අසීරු ස්ථාන 08ක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් හඳුනාගෙන තිබෙන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය වනු ඇතැයි අස්තමේන්තුගත කර තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

මෙම කටයුතුවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා කමිටුව මසකට වරක් රැස්වීමටද මෙහිදී තීරණය කෙරිණි.

ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම මෙහිදී අගය කළ ආගමික නායකයෝ එම කටයුතු ඉතා හොදින් කළමනාකරණය කර ගැනීම පිළිබඳ රජයට ප්‍රසාදය පළ කර සිටියහ.

එමෙන්ම, හානි වූ ආගමික ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රජය දැක් වූ කඩිනම් ප්‍රතිචාරය පිළිබඳවද ප්‍රශංසාව පළ කළහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ, අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලි නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක හිමිපාණන් වහන්සේ, සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ, ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, ශ්‍රීමත් ස්වාමි අක්ෂරත්මනාන්තා පූජකතුමා ඇතුළු හින්දු ආගමික පූජකවරුද, ඇලෙක් රෝයි සමන්ත ප්‍රනාන්දු පියතුමා ඇතුළු කතෝලික සභාවේ සහ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ පියතුමන්ලාද, සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මහලේකම් අෂ්ෂේක්. අර්කම් නුරාමිත් මවුලවිතුමා ඇතුළු මුස්ලිම් ආගමික නායකයන්ද ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ අදාළ රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.