පූර්ණ හානි වූ අලිවැට කිලෝමීටර් 50න් 10 කම පිළිසකර කිරීම් මෙම සතිය ඇතුළත සිදු කිරීමට පියවර
දිට්වා සූළි කුණාටුව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට සිදු වූ පාරිසරික බලපෑම හා වනජීවී, වනසංරක්ෂණ කලාපයන්ට සිදු වූ බලපෑමත් ඊට අදාළ විසඳුම් අධ්‍යයනය කිරීම සඳහාත් පසුගියදා (16) ගිරිතලේ වනජීවී මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පැවති ආපදා තත්වයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ විදුලිවැටවලට සිදු වූ හානිය පිළිබඳ මෙහි දී අවධානය යොමු කරන ලදී. ඒ අනුව පොළොන්නරුව වනජීවී කලාපයේ පවතින කිලෝමීටර් 1100ක විදුලි වැටවල් ප්‍රමාණයෙන් කිලෝමීටර් 340කට අධික ප්‍රමාණයක් හානියට පත් වී ඇති බවට කරුණු අනාවරණය විය.
පොළොන්නරුව වනජීවී කලාපයේ විනාශ වී ඇති කිලෝමීටර් 340කට අධික විදුලි වැටවලින් මේ වන විට කිලෝමීටර් 200ක ප්‍රමාණයක විදුලි වැටවල් නැවත සාමාන්‍ය පරිදි සක්‍රිය තත්වයට ගෙන ඒමට පියවර ගෙන ඇත.
එමෙන් ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පූර්ණ වශයෙන් හානි සිදු වූ හඳුනාගත් අලිවැට කිලෝමීටර 50 ප්‍රමාණයෙන් අලිවැට කිලෝමීටර් 10ක නව විදුලි වැටවල් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම සතිය තුළම ලබා දී වැඩ අවසන් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.