Monday, December 08, 2025
Follow Us
ආපදා බලපෑම් ඇති වූ කර්මාන්තකරුවන්ට කර්මාන්ත යථාතත්ත්වයට පත් කිරීමට රුපියල් ලක්ෂ 2ක බැගින්

පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ කඩිනම් සහන වැඩපිළිවෙළ යටතේ, ආපදාවෙන් බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා ආපදාවට ලක්වී ඇති සෑම කර්මාන්තයක් සඳහාම රුපියල් 200,000 .00 මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්ත සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය(EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB), ජාතික ව්‍යවසායකත්වය සංවර්ධන අධිකාරිය(NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය(SED), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය(NPS), ජාතික ශිල්ප සභාව(NCC) හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය(NDC) යන ආයතන වල ලියාපදිංචි ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට මෙම ලක්ෂ 2 ක මුදල ලබා ගැනීමේ හැකියාව තිබෙයි.

මේ සඳහා කර්මාන්ත හිමියන් විසින් www.industry.gov.lk වෙබ් අඩවිය හරහා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්, අපනයන සංවර්ධන නිලධාරීන් හා ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම දීමනාවලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකළ හැකිය.

එසේම 'දිට්වා' සුලි කුණාටුව' හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙන අතර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව අමාත්‍යාංශයට තොරතුරු ලබාදීමට "0712666660"‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර ආපදාවට පත්වූ කර්මාන්ත පිළිබඳව අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් ආපදාවට පත්වූ කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටියි.

මෙම තොරතුරු ලබාදීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදු කළ හැකි අතර අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකිය. මෙම තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව ආපදාවට ලක්වූ සියළුම කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටත් සම්බන්ධීකරණය කරගැනීමටත් අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.