Friday, November 21, 2025
Follow Us
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 376 ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 2025 නොවැම්බර් මස 20 වැනි දින තංගල්ල ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර 18ක් තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වර් වර්ගයේ හා පිස්තෝල වර්ගයේ පැති අවි 02 ක්, පතොරම් ගැබ් 02ක් සහ චන්ද්‍රිකා දුරකතනයක් ද  එහිදී සොයාගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගය සහ නිතී විරෝධී ගිණි අවි, නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය. 

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්, ‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ දැක්මට සමඟාමීව ක්‍රියාත්මක කර ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව සහ තීව්‍ර ලෙස දියත් කර ඇති බවත්, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත්, සහ මෙම නීතී විරෝධී සහ සමාජ විනාශකාරී කටයුතු වලින් ඔවුන්ට ඉවත්වන ලෙසටද අවධාරනය කෙරිණි.

එහිදි, වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා, රජය විසින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛ කර ගත් සුරක්‍ෂිත රටක් සහ ජන ජීවිතයක් තහවුරු කිරීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගණනාවක් ක්‍රියාවට නංවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ව්‍යසනය සහමුලින්ම තුරන් කිරීම උදෙසා විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන ලද “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ අති සාර්ථක ලෙස මත්ද්‍රව්‍ය තොග වැටලීම් දෛනිකව සිදු කරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමෙන්, එහි සාර්ථක ප්‍රථිපල රටක් ලෙස අප සියළු දෙනාට දක්නට ලැබෙන බවත් පවසන ලදී.

ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන්, රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු සියළුම දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සමඟ අනෙකුත් නීතීය ක්‍රියාත්මක කරන ආයතන සහ සන්නද්ධ හමුදා ඒකාබද්ධ කරගෙන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට උපාය මාර්ගික සැලසුම් තීව්‍ර ලෙස ක්‍රියාත්මක කර ඇති බවත්, මුහුදු මාර්ගයෙන් සිදුවන නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රමුඛව අනෙකුත් හමුදා හා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂකාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන දේශීය ආයතන සමඟ මෙන්ම, ජාත්‍යන්තර ආයතන හා එක්ව මනා සම්බන්ධීකරණයෙන් සහ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදුකර අත්අඩංගුවට ගැනීම් රාශියක් පසුගිය මාස කිහිපයේදී අඛණ්ඩව සිදුකරනු ලැබූ බවත් එහිදී  ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් පවසන ලදී.

අභිමානවත් ජීවිතයක් නොසැලෙන රටක් යන රජයේ ප්‍රතිපත්තියට අනුව මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ දුවා දරුවන් ආරක්‍ෂා කිරීමට සහ මෙම සමාජ ව්‍යසනයෙන් මාතෘ භූමිය මුදා ගැනීම වෙනුවෙන් සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සුවිශේෂී කැප කිරීම අගය කල එතුමන්, ධීවර ප්‍රජාව වෙත අවධාරණය කරමින් ඉල්ලා සිටියේ, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු නීතීය ක්‍රියාත්මක කරන ආයතන වෙත ලබා දෙන ලෙසයි. 

එමෙන්ම, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ගේ කාර්යය භාරය ඇගයීමද, එහිදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් සිදු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261ක‍ට අධික තොගය, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115කට අධික තොගය, පැති අවි දෙක (02) හා පතොරම් ගැබ් (02), චන්ද්‍රිකා දුරකථනය සමඟ සැකකරුවන් හය දෙනා (06) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.