Friday, November 14, 2025
Follow Us
දුම්රිය රියදුරන් 85කට පත්වීම්

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85 ක් සහ නියාමකවරුන් 06 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් අද (14) සිදු විය.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"නව රජය ගියවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රු. බිලියන 110 ක් වෙන්කළා. මෙවර අයවැයෙන් ඒ සඳහා තවත් බිලියන 110 ක් වෙන්කළා. 2027 සඳහාත් ඒ සමාන මුදලක් වැටුප් වෙනුවෙන් වෙන්කිරීමට නියමිතයි.මේ සේරම කරන්නේ මහජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්නයි. දුම්රිය සේවයේ සෑම අංශයකම මානව හිඟයක් තියෙනවා. නව රජය පත්වෙලා අපි කරපු ප්‍රථම රාජකාරිය තමයි ඒ හිඟය පුරවන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීම. නමුත් බඳවා ගැනීම සිදුකිරීමට මාස 10 ක් ගත වුණා. ඉදිරියේදී මෙවැනි කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

දුම්රිය රියදුරන් සඳහා පුරප්පාඩු 192 ක් තිබුණා. ඒ වෙනුවෙන් අයැදුම් පත්‍ර 698 ක් ලැබී තිබුණා. නමුත් අද එම තනතුර වෙනුවෙන් අපට බඳවා ගන්න හැකි උනේ  88 ක් පමණයි. දුම්රිය නියාමකවරුන් සඳහා ඉල්ලුම් පත්‍ර 1302 ක් ලැබී තිබුණත්, අදාළ විභාගය සමත්වී තිබුණේ 57 ක් පමණයි. නියාමක පුරප්පාඩු  136 ක් පැවතුනත් මෙම 57 දෙනා අතරින් අද අපට නියාමකවරුන් වශයෙන් බඳවා ගන්නෙ 06 ක් පමණයි. මේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මෙයට ප්‍රධානම හේතුව තමයි මම කලින් කිව්වා වගේ සහතික වලට පමණක් සුදුසුකම් සීමාවීම යැයි පැවසීය.

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ප්‍රමුඛ දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.