දැනට ආරක්‍ෂක අංශ යටතේ පවතින යාපනය - පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි.
අදාළ ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධකවලට පිළියම් සෙවීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය. රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා මෙම රැස්වීමේ සම සභාපතිත්වය දැරූහ.
ජාතික ආරක්‍ෂාව කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක සංහිඳියාවේ වැඩපිළිවෙල වේගවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ඒ අනුව අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිදභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනාම විසින් අවධාරණය කළහ.
තවද, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඇතුළු ආරක්‍ෂක සහ පරිපාලන අංශයන්හි සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.