Saturday, November 08, 2025
Follow Us
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම උපදෙස්

රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගන්න - අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

 රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

2023 අ.පො.ස. (උසස්පෙල) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයන්, රුහුණ සම සෞඛ්‍ය පීඨයට තේරී පත්වී වසරකට අධික කාලයක් ගත වී තිබෙන නමුත් සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය හේතුවෙන් මේ දක්වා එකී ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවද විශ්වවිද්‍යාල බලධාරීහු පැවැසුහ.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 30.10.2025 වන දින පාර්ලිමේතුන්වේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල බලධාරීහු රුහුණ සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ.කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය මානව සම්පත ලබාදීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් එම නිලධාරීහු පැවසුහ.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා උද්ගතවී ඇති ගැටලුව හේතුවෙන් සිසුන් 250 ක පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් එම ගැටලුව නිරාකරණය කිරීමට තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන අධ්‍යන කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අදාළ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කර සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාලයේ නිලධාරීහු පැවසුහ.

මේ අතර 2025 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යාංශ වල අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය ද මෙදින කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී අදාළ අමාත්‍යාංශවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පොදුවේ බලපාන ගැටලු කාරී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් අපේක්ෂිත මට්ටමට ළඟා කරගැනීමට නොහැකි වූ බව අමාත්‍යාංශ ලේකම්වරු පෙන්වා දුන්හ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ගොඩනැගිලි ඉදිකිරිමේදී පවතින ගැටලු හේතුවෙන් අදාළ ප්‍රගතිය ලබාගැනීමට අපොහොසත් වී ඇති බවත් මේ වසරේ තවත් කෙටි කාලයක් පවතින බැවින් අදාළ ප්‍රගතීන් වැඩි කරගැනීමට අපේක්ෂා කරන බවත් පැවැසුහ.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ යන මහත්වරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, සම සෞඛ්‍ය පීඨයේ පීඨාධිපති හා ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.