කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ගරු නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අමාත්යාංශ මට්ටමින් මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇති බවත්, මෙම හමුව මගින් මෙම දූත පිරිස සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර මෙම ක්ෂේත්ර සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කිරීම අරමුණු කළ බවත්ය.
කෝපි වගාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්රී ලංකාවේ කෝපි කර්මාන්තය පසුගිය දශකය තුළ කැපී පෙනෙන ප්රගතියක් පෙන්නුම් කර ඇති බව මෙහිදී සඳහන් වූ අතර කෝපි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීම පුළුල් කිරීමේ අවශ්යතාවයද සාකච්ඡා කරන ලදී. දැනට හෙක්ටයාර් 5,000 කට අධික ප්රමාණයක කෝපි වගා කරන බවත්, ඉදිරි වසර දෙක තුළ එය හෙක්ටයාර් 10,000 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.