Tuesday, October 28, 2025
Follow Us
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනම්න් ආරමිභ කිරීම පිළිබඳව වු සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී රෝහලේ 2013 වසරේ ආරම්භ වු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට 50% ක වැඩ අවසන් කර ඇති මහල් 05 කින් යුත් කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය, 2014 වසරේ ක්‍රියාත්මක වු ව්‍යාපෘතියක් යටතේ වැඩ ආරම්භව 2018 වසරේ සිට ඉදිකිරීම් කටයුතු නතර වී ඇති හදිසි ප්‍රතිකාර ඒකකය (A&E) යන ව්‍යාපෘති නැවත ආරම්භය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහි දී වැඩි අවධානයක් යොමු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත ව්‍යාපෘති වලට අදාළව ඉදිරිපත් වු කරුණු පිළිබඳව සිය අවධානය යොමු කරමින් ලබන වසරේ මුල්භාගයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් හදිසි අනතුරු ඒකකය සහ මහල් 05 කින් යුත් දැනට 50% වැඩ අවසන් කර ඇති කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය යන ප්‍රධාන සහ රෝහලට අත්‍යාවශ්‍ය  ව්‍යාපෘති 02 නැවත ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නගර සභා ගොඩනැගිල්ලක සායන පැවැත්වීමට කටයුතු සිදු කරන බව ද එම හේතුවෙන් දෛනිකව සායන සඳහා රෝහලට පැමිණෙන රෝගීන් මුහුණ දෙන ගැටළු සහගත තත්ත්වයන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳව ද රෝහල් පාලනාධිකාරිය මෙහිදී අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලද අතර ඉදිරි දෙසැම්බර් මස එම ගොඩනැගිල්ල නැවත නගර සභාව වෙත බාරදීමට සිදු ව ඇති බව ද පෙන්වා දෙන ලදි.

රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු, ඖෂධ, වෛද්‍ය උපකරණ හා මානව සම්පත් අවශ්‍යතාවයන් පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ගැනුණි.

හලාවත නගර මධ්‍යයේ අක්කර 7 1/2 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම රජයේ රෝහල සහ මධ්‍යම රජයේ සෘජු අධීක්ෂණය යටතේ පවතින දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සෞඛ්‍ය සේවා ආයතනය ලෙස හලාවත දිස්ත්‍රික් මහ රෝහල  විශාල ජනතාවකට රෝගී ප්‍රතිකාර සේවා සපයනු ලබයි.

පසුගිය කාර්තුවේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් 53,000 අධික ජනතාවක් සේවා ලබාගෙන ඇති අතර 927 ක සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහිත රෝහලේ ඇඳන් ධාරිතාව 645 කි.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.එච්.එමි.එච් අභයරත්න, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් ගිහාන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,  අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුනිල් අත්තනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.