වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලදී, ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.
පසුගිය 22 වන දින නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමත් සමග, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව කඩිනම් මෙහෙයුමක් දියත් කරන ලදී.
මෙම සංකීර්ණ අපරාධයේ සුලමුල සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ඒකාබද්ධත්වයෙන් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවන ලදී. ඔවුන්ගේ විමර්ශන ඔස්සේ අනාවරණය වූයේ, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අනුරාධපුර, කැකිරාව පොලිස් වසමේ, නිවාස 50 ප්‍රදේශයේ සැඟවී සිටින බවයි.
ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැලසුම් සහගතව, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ යුද හමුදා නිලධාරීන්ගේ ද සහාය ඇතිව අද (26) අලුයම් කාලයේදී එම ප්‍රදේශය වටලන ලදී. එහිදී, කමතක් සඳහා භාවිතා කර පසුව අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක සැඟවී සිටි සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. මෙම වැටලීම අතරතුර, සැකකරුවන් සමග සිටි තවත් පිරිසක් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.
මෙම මෙහෙයුමේදී, අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිවලින් එකක්, රුපියල් ලක්ෂ දොළහ ඉක්මවූ මුදල් තොගයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගැනිණි. එමෙන්ම, මෙම අපරාධකරුවන්ට නවාතැන් හා පහසුකම් සලසන ලද ප්‍රදේශවාසී තවත් පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, පොලිස් වැටලීම අතරතුර ඇතිවූ ගැටුමෙන් ප්‍රයෝජන ගෙන පලාගිය ප්‍රධාන සැකකරුවෙකු වන, අඟුළුගම, බැඳිපිට, කොන්තපෙන ලිපිනයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක නැමැත්තා සොයා පොලීසිය මේ වන විට මහජනතාවගේ සහය පතයි. අඩි 5යි අඟල් 6ක් පමණ උසැති ඔහුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් “ANURADA” ලෙසත්, වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙසත් පච්ච කොටා ඇති බවට පොලීසිය හඳුනාගැනීමේ සලකුණු නිකුත් කර තිබේ.
මෙම සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, පොලිස්පතිට කියන්න (WhatsApp) – 071 859 8888 හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ 011 233 7162 / 071 859 2087 යන දුරකථන අංක වෙත දන්වන ලෙස පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. අපරාධයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බහුවිධ පොලිස් ඒකක සහ යුද හමුදාව එක්ව තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරයි.