බදුල්ල ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් සිදු කරමින් පවතින සහ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්යාපෘති පිළිබඳව විශේෂ අවධානයක්
දැනට ඉදිකිරීම් කටයුතු සිදු කරන මෙන්ම අතරමඟ නවතා දමා ඇති මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඇතුළු සංවර්ධන ව්යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කෙරේ.
ඌව පළාතේ මිලියන 1.5 කට අධික ජනතාවකට සහ අවට ප්රදේශ රැසක ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ සත්කාර ලබාදෙමින් රෝගී කේන්ද්රීය සෞඛ්ය සේවාවක් සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්රතිකාර සේවාවන්, අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්යාපෘති, ඉදිරි සංවර්ධන සැලසුම් සහ භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කරුණු සොයා බැලීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කටයුතු කළේය.
රෝහල් පරිශ්රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ අමාත්යවරයා විශේෂ අවධානය යොමු කරන ලද්දේ දැනට ඉදිකිරීම් සිදු කරමින් පවතින සහ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්යාපෘති පිළිබඳව ය.
එහි දී ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින දස මහල් නව හදිසි ප්රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු විශේෂ නිරීක්ෂණයට ලක් කළ අමාත්යවරයා ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්ය සියලුම පහසුකම් සහිතව ඉදිකිරීම් ආරම්භ කළ මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම දස මහල් ගොඩනැල්ල ඉදිකිරීම සදහා 2023 වසරේ රුපියල් බිලියන 2.26 ක මුදලක් වෙන්කර තිබූ අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට සැලසුම් කොට තිබුණි. මෙහි කායික වෛද්ය, ශල්ය වෛද්ය, ළමා රෝග වෛද්ය, ප්රසව හා නාරිවේද සහ මනෝ වෛද්ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්ය පාඨමාලා ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබුණි.
රෝහලේ තෙමහල් පිළිකා ප්රතිකාර සංකීර්ණ ගොඩනැගිල්ල සහ එහි ප්රතිකාර කටයුතුත් එහි ස්ථාපිත කොබොල්ටි විකිරණ ප්රතිකාර අංශය, ඖෂධාගාරය, විකිරණ ප්රතිකාර අංශය ඇතුළු රුධිර කාන්දු පෙරණ ඒකකය, හදිසි ප්රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය වැනි අංශ ගණනාවක් ද සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.
බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය හිමාලි විඡේගුණවර්ධන මහත්මිය ඇතුළු රෝහලේ පාලන අධිකාරිය, ඌව පළාත් පරිපාලන හා දේශපාලන නායකත්වයන්, විශේෂඥ වෛද්ය වෛද්ය, හෙද මෙන්ම අනිකුත් සෞඛ්ය කාර්ය සමඟ රෝහල් ශ්රවණාගායේ දී විශේෂ කරුණු සොයාබැලීමේ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහි දී බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය හිමාලි විඡේගුණසේකර මහත්මිය අදහස් දක්වමින් 08 ක භූමි ප්රදේශයක පිහිටා ඇති බදුල්ල ශික්ෂණ රෝහල සෞඛ්ය සේවා විෂයයන් රැසකට අදාළව පුළුල් පරාසයක විශේෂිත සේවාවන් සපයන බවත්, සංස්කෘතික වශයෙන් විවිධ වූ ප්රජාවන්ගේ සෞඛ්ය අවශ්යතා සපුරාලීමටත්, ශක්තිමත් ඒකාබද්ධ සෞඛ්ය පද්ධතියක් ගොඩනැගීමටත් කටයුතු බව පැවසී ය.
2023 වසරේ ශික්ෂණ රෝහලක් බවට පත්ව රෝගී ඇඳන් 1500 ක්, විශේෂඥ වෛද්ය, වෛද්ය හෙඳ ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩල 2400 ක් සහිතව වර්තමානයේ සෞඛ්ය සේවා සපයන රෝහලේ බාහිර රෝගී අංශයට දිනකට රෝගීන් 1000 ක් පමණ දෙනා පැමිණෙන බවත්, සායන සඳහා දිනකට රෝගීන් 1500 ක් පමණ සහ දිනකට නේවාසික රෝගීන් 1000 ක් පමණ වන බව ද පෙන්වා දුන් අතර, බදුල්ල ශික්ෂණ රෝහල වාට්ටු සහ ඒකක 45 කින් යුක්ත වන බව ද අධ්යක්ෂවරිය පෙන්වා දෙන ලදි.
මෙම සාකච්ඡාවේ දී බදුල්ල ශික්ෂණ රෝහලේ වාර්ෂික ක්රියාකාරී සැලැස්ම (Annual Action Plan) - 2026 පිළිබඳවත්, ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්ය සියලුම පහසුකම් සහිතව ඉදිවෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ලේ අතරමඟ නවතා දමා ඇති ඉදිකිරීම් කටයුතු සහ එහි ක්රියාත්මක කිරීමට යෝජිත ඒකක පිළිබඳවත්, දැනට රෝහලේ ක්රියාත්මක සහ ඉදිරියේ දී ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්රාග්ධන ව්යාපෘති පිළිබඳවත්, ප්රසම්පාදන කටයුතු, මානව සම්පත් සංවර්ධනය, පුහුණු වැඩසටහන්, හදිසි ප්රතිකාර සේවාවන්, දැනට ක්රියාත්මක සායන, වෛද්ය උපකරණ සහ අවශ්යතා, ඖෂධ, ඩිජිටල්කරණ කටයුතු මෙන්ම රෝහල සතු ඉඩම් නැවත අත්පත් කර ගැනීමේ කටයුතුවල වත්මන් තත්ත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙන්ම දැනට පවතින ප්රධාන ගැටළු කිහිපයක් පිළිබඳව ද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා දැනුවත් කරන ලදි.
ඉදිරි කාල වකවානුව තුළ බදුල්ල ශික්ෂණ රෝහල නවීනත ම තාක්ෂණික ක්රමවේදයන් හී දියුණුවක් සහිතව රෝගී ආරක්ෂණ මුලපිරීම්, පුළුල් පරාසයක ඉහළ ගුණාත්මක විශේෂිත සෞඛ්ය සේවාවන් සැපයීම සිදු කරනු ලබන තෘතීයික සත්කාර සපයන රෝහලක් ලෙස වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් බදුල්ල ශික්ෂණ රෝහල පිළිබඳව මෙම කරුණු සොයා බැලීමට අදහස් කළ බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පෙන්වා දෙන ලදි.
බදුල්ල දිස්ත්රික්කයේ ජනතාවට මෙන් ම අවට මොණරාගල, මහියංගනය, නුවරඑළිය වැනි දිස්ත්රික්කවල ජනතාවට ද විශිෂ්ට සෞඛ්ය සේවාවක් සපයනු ලබන බදුල්ල ශික්ෂණ රෝහලේ ප්රතිසංවිධාන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කරන බවත්, දැනට ක්රියාත්මක සංවර්ධන ව්යාපෘති කඩිනම් කිරීමට ද අතර මඟ නවතා දමා ඇති සංවර්ධන ව්යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්යවරයා මෙහිදී පැවසීය. රෝහලට අවශ්ය මානව සම්පත සහ භෞතික සම්පත් ද ලබාදෙමින් විශිෂ්ට සෞඛ්ය සේවාවක් සපයනු ලබන නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් රෝගී සත්කාර සපයනු ලබන රෝහලක් ලෙස ප්රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට අවධානය යොමු කරන බව ද මෙහි දී අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රවීන්ද්ර බණ්ඩාර, බදුල්ල මහනගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ, උප නගරාධිපති සුජීව පිරීස් යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.