ප්රචණ්ඩත්වයට ගොදුරු වු වින්දිත දරුවන් වෙනුවෙන් සේවාවන් විධිමත් කිරීමේ ක්රියාවලිය ආරම්භ කිරීම සහ වින්දිතයින් බවට පත් වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත කිරීම ඊයේ ( 17) සිදුවිණි.
යම්කිසි සිදුවීමක් පොලීසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට ප්රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩව රැකවරණ යාන්ත්රණය සමඟ සම්බන්ධ වන තෙක් කඩිනම් සහ ළමා හිතකාමී සහාය ලබාදීම මෙම විධිමත් ක්රියාවලියේ අරමුණය.
මේ පහසුකම් තුළින් වින්දිතයින් බවට පත්වන දරුවන්ට අධිකරණ පරිශ්රය තුළ වෙනම කාමරයක සිට සාක්ෂි ලබාදීමට ඉඩ සලසයි.
එමඟින් දරුවෙකුට අපරාධකරුවන් සමඟ සෘජුව මුහුණට මුහුණ හමු නොවීම තුළින් එම ආරක්ෂාව සැලසෙන අතර, දරුවාට මුහුණදීමට සිදුවන කම්පනය අවම කරයි.
ප්රචණ්ඩත්වයට ලක් වු දරුවන් සදහා මෙම සේවාවන් හදුන්වාදීම, දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම, පිළිබද 2024 බොගෝටා සමුළුවේදී ශ්රී ලංකාව ලබාදුන් පොරොන්දුවලින් එකකි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය, යුනිසෙෆ් සහ යුරෝපා සංගමයේ සහාය ඇතිව යුක්තිය සදහා සහාය ව්යාපෘතිය විසින් ( JURE) මේ සදහා සහාය දක්වනු ලබයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්රචණ්ඩත්වයට ගොදුරුවු වින්දිත දරුවන් වෙනුවෙන් සේවාවන් විධිමත් කිරීමේ ක්රියාවලිය ආරම්භ කිරීමේ උත්සවය අමතන ලදී.