Tuesday, September 16, 2025
Follow Us
පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන්  රුපියල් බිලියන 32ක්
පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්යාපන කලාප 100 ම ආවරණය වන පරිදි ක්රියාත්මක වන අතර 2025 වර්ෂය සඳහා
මෙම වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්රතිපාදන මගින් වෙන් වී ඇත. පාසල් 8,943ක අධ්යාපනය ලබන මිලියන 1.4ක ශිෂ්ය ප්රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්රතිලාභ මේ වන විට හිමි වේ.
නිරෝගී ක්රියාශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමේ අභිමතාර්ථයෙන් පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්ය පුරුදු ප්රවර්ධනය කිරීම මෙන් ම දේශීය ආහාර සංස්කෘතියක් ගොඩනැගීම මගින් රටට වැඩදායී පුද්ගලයකු බිහි කිරීම යන අරමුණු පෙරදැරි ව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය විසින් පාසල් ළමුන් සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහන වාර්ෂික ව ක්රියාවට නංවනු ලබයි.
 
2006 වර්ෂයේ සිට ජාතික වැඩසටහනක් ලෙස ක්රියාත්මක කෙරෙන මෙම පාසල් පෝෂණ වැඩසටහන සඳහා පාසල් තෝරාගැනීමේ දී සලකා බැලෙන නිර්ණායක කිහිපයකි. ඉන් පළමු නිර්ණායකයේ දී ශිෂ්ය සංඛ්යාව 100ට අඩු පාසල්වල සියලු ම ශිෂ්ය ශිෂ්යාවන් මෙම ආහාර ලබා දීමට සුදුසු සේ සැලකේ. එහෙත් ආරම්භයේ සිට අනුමත කර ඇති පාසලක් නම් වර්තමානයේ ශිෂ්ය සංඛ්යාව 100ට වැඩි වුව ද එය නොසලකා සියලු සිසුන්ට ආහාර ලබා දීම සිදු කෙරේ. දෙවෙනි නිර්ණායකයේ දී සියලු ම පාසල්වල 1 සිට 5 දක්වා ප්රාථමික ශ්රේණිවල සියලු දරුවන් සුදුසු සේ සැලකේ. විශේෂ අධ්යාපන ඒකකවල හෝ විශේෂ අධ්යාපන පාසල්වල සියලු ම ශිෂ්ය ශිෂ්යාවන් මෙම ආහාර වැඩසටහන මගින් ප්රතිලාභ ලැබීමට සුදුසු වන බව තෙවෙනි නිර්ණායකයෙන් කියවෙයි. සිව් වෙනි නිර්ණායකයෙන් කියවෙන්නේ, තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසු සිසුවියන් මෙන් ම අවශ්යතාව මත පැවිදි ශිෂ්ය ප්රජාව ද මෙම වැඩසටහනට අයත් වන බවයි. 6 ශ්රේණියේ සිට 13 ශ්රේණිය දක්වා ශ්රේණිවල ශිෂ්ය ශිෂ්යාවන් ද පෝෂණ තත්වය හා අවශ්යතාව මත මෙම ආහාර වැඩසටහනට ඇතුළත් කරගන්නා බව පස් වන නිර්ණායකයෙන් අදහස් කර ඇත.
 
පාසල ආරම්භ වී පළමු පැය තුළ එනම් උදෑසන 7.30ත් 8.30ත් අතර ආහාර ලබා දීම සිදු කරන අතර එක් සිසුවකුගේ දෛනික ආහාර වේලක් වෙනුවෙන් රු. 110/-ක මුදලක් වෙන් වී ඇත. වත්මන් කාර්යබහුල සමාජ ජීවන රටාවට අනුව නිවසේ දී බොහෝ විට අතපසු වන දරුවන්ගේ උදෑසන කෑම වේල, පාසල තුළ දී ඔවුන්ට ප්රමාණවත් පරිදි හා පෝෂණීය අයුරින් ලබා දීම දිවයිනේ ප්රසිද්ධ පාසල් ඇතුළු සියලු ම පාසල්වලට භේදයකින් තොර ව ක්රියාවට නැංවීමට 14/2025 හා 2025.04.01 දිනැතිව නිකුත් කරන ලද නව චක්රලේඛය අනුව අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබේ.
 
ඒ අනුව සිසු දරුවන්ට වඩාත් පෝෂ්යදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි ගිය වසරට සාපේක්ෂව මෙම වැඩසටහනට වෙන්කරන ලද මුදල දෙගුණයක් බවට පත් කෙරුණු අතර කලාප හා කොට්ඨාශ අධ්යාපන අධ්යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ නියාමනයෙන් සෞඛ්ය අමාත්යාංශයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්ය ආරක්ෂීත මෙන්ම පෝෂදායී ආහාරවේලක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.