Monday, September 15, 2025
Follow Us
මොරටුවේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ ලබාදීම ඇරඹෙයි
  • මහාචාර්ය පුහුණුවට පළමු කණ්ඩායම ලෙස වෛද්‍ය ශිෂ්‍යයින් සියයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ  ඉදිරි අධ්‍යයන කටයුතු සදහා අවශ්‍යවන සායනික පුහුණුව ලබා දීම නිල වශයෙන් අද (15) පෙරවරුවේ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ දී ආරම්භ විය. 

2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකක ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගන්නා ලද තීරණයට අනූව මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය, කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මේ වන විට වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍යවන මහාචාර්ය ඒකක පහම  කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපනය කර ඇති අතර ඒ සදහා අවශ්‍යවන අනෙකුත් මානව හා භෞතික සම්පත් ද රෝහලට ලබා දී ඇත.  මහාචාර්ය ඒකක සදහා මේවන විට වෛද්‍යවරුන් විසිදෙදෙනෙක්  සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය 2020 වර්ෂයේ ස්ථාපිත කර ඇති අතර මේවන විට ශිෂ්‍ය කණ්ඩායම් 5 කට අඳාළව වෛද්‍ය සිසුන් 500 ක  ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරත වේ.    එහි අවසන් වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් සිය දෙනෙකුට අවශ්‍ය වන  මහාචාර්ය පුහුණුව ලබා දීම මෙසේ ආරම්භ විය.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර සිටියේ 2017 වර්ෂයේ දී තමන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන සමයේ දී පාර්ලිමේන්තුවට පෞද්ගලික  මන්ත්‍රී යෝජනාවක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ  සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ද්විත්වය අලුතින්  ඉදිකිරීම යෝජනා ඉදිරිපත්කළ බවත්, එම යෝජනා සම්මත වූ පසු මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල බවට කළුතර නාගොඩ දිස්ත්‍රික් මහ රෝහල පත්කරන ලෙසට තවත් යෝජනාවක් ඉදිරිපත්කළ බව යි.

එම යෝජනාවන් ක්‍රියාත්මක තලයට ගෙන ඒම එතරම් පහසු නොවුනු බවත්, එවකට මෙරට  තීන්ඳු තීරණ ගන්නා අය අතර තිබුණු ප්‍රාදේශීයවාදී චින්තනය එයට ප්‍රධානතම හේතුව වූ බවද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. වෛද්‍ය පීඨය ඉදිකිරීමට සුදුසුම ස්ථානය නාගොඩ ශීක්ෂණ රෝහල ආසන්නයේ තිබියදීත්, එවක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මෙය තමන්ගේ ආසනයට ගෙනයාමට උත්සහ දැරූ බව අවධාරණය කළ අමාත්‍යවරයා එය කිසිසේත්ම මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ජාතික අවශ්‍යතාවයට නොගැලපෙන බව ද අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම්  කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත් ඒ සදහා අවශ්‍යවන භූමිය මේවන විට වෙන්කර අවසන් බවද පැවසූ අමාත්‍යවරයා කුවේට් අරමුදලත් සමග සාකච්ජා සිදුකර අවශ්‍යවන අරමුදල් හා රජයේ ‍ මුදල් යම් ප්‍රමාණයක් ද එයට යෙදවීමට කටයුතු කරන බව ද පැවසී ය.

ගල්අස්ස ළමා හා මාතෘ රෝහල 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ විවෘත කළ ද කාර්ය මණ්ඩල ගැටළුව නිසා එහි ප්‍රතිකාර සේවාවන් නිසි අයුරින් ආරම්භ කිරිමට නොහැකි වූ බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මේවන විට ප්‍රතිකාර සේවාවන් ක්‍රමවත් පරිදි ආරම්භ කර තිබෙන බවත්, එම ගොඩනැලිල්ලට අමතරව තවත් ගොඩනැගිල්ලක් එම භූමියේ ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසී ය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ  ඉදිකිරීම් අතරමග නවතා දමා තිබුණු වෛද්‍ය වාට්ටු සංකීර්ණය, හෙද විදුහලේ ගෝඩනැගිල්ල 2027 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට පෙර අවසන් කිරීමට අවශ්‍යවන ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව අවධාරණය කල අමාත්‍යවරයා එවැනි ආකාරයේ ව්‍යාපෘති 17 ක ඉදිකිරීම් කඩිනම් කර ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට කටයුතු කරන බවද පැවසී ය.

ඒ සදහා රුපියල් බිලියන 45 ක් අමතර වශයෙන් භාණ්ඩාගාරයෙන් වෙන කර ඇති බවත්, නියමිත කාලසීමාවට නියමිත ආකාරයෙන් එම ව්‍යාපෘති 17 අවසන්කර තිබුණානම් රුපියල් බිලියන 29 කින් එම කටයුතු නිම කිරීමට හැකිවී තිබුණ බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

එම ව්‍යාපෘති නියමිත කලට නිමනොවීමේ ප්‍රතිඵලයක් ලෙස අමතරව තවත් බිලියන ගණනක් වෙන් කිරීමට සිඳුව තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ සියලු සංවර්ධන කටයුතු සමග අවසන් බලාපොරෝත්තුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල මගින් ප්‍රදේශයේ ජනතාවට සහ අවට ප්‍රදේශවල ජනතාවට ගුණාත්මක,කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීම බව ද වැඩැදුරටත් පැවසී ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීම මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගන්නා ලද තීරණයකට අනූව මෙම සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක  වේ.

මෙහි දී කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකක ස්ථාපිත කිරීමේ දී දක්වන ලද දායකත්වය වෙනුවෙන්  සියලු සෞඛ්‍ය වෘත්තීන් ආවරණයවන පරිදි සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීමකට ලක්කර, සම්මාන ප්‍රදානය කිරීමටද පියවර ගන්නා ලදී.

 මෙම නිල උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා  කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ ස්ථාපිත ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය, කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය යන ඒකක වල විශේෂ නිරීක්ෂණයක ද නිරත විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන, මොරටුව විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩී.පී. චන්ද්‍රසේකර, මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සේනක පිලපිටිය, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මධුභාෂිණී කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය  නයනජිත් කොමසාරු, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නවීන් ද සොයිසා, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තිකයන් හා වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් ද එක්ව සිටියහ.