අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන් වන බවත් ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජූලි 27 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවති "BOCUSE D'OR SRI LANKA 2025" සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.
උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය:
මෙම අවස්ථාව සූපවේදය පිළිබඳ පමණක් නොවෙයි . ඊට එහා ගිය විශිෂ්ටත්වය, උරුමය හා අනන්‍යතාවය පිළිබඳ අවධානය යොමු වන අවස්ථාවක්.
ශ්‍රී ලංකාව වැනි රටකට, මෙවැනි ගෝලීය සහභාගීත්වයක් කියන්නේ සූපවේදීත්වයේ කීර්තියට එහා ගිය දෙයක්. එය අපව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමක් වගේම නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ සංස්කෘතිය විදහා දැක්වෙන සංවාදයක්. 2011 දී අපි මුලින්ම අපේ සූපවේදී තානාපතිවරුන් ගෝලීය වේදිකාවට හඳුන්වා දුන් දා සිට, අපේ ගමන් මඟ කැපවීමෙන් පැහැදිලි දැක්මකින් සහ අපේ විභවය පිළිබඳ නොසැලෙන විශ්වාසයකින් සලකුණු වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාව මේ වේදිකාවට පිවිසීම අහඹු සිදුවීමක් නෙවෙයි. එය අපේ ආගන්තුක සත්කාරය, මෙන්ම අපේ සූපවේදී අධ්‍යාපනයේ සහ අපේ අභිලාෂයේ ප්‍රගතිය පිළිබිඹු කරන අවස්ථාවක්.
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ සංචාරක කර්මාන්තය කියන්නේ ආර්ථික ආයෝජනයක් විතරක් නෙවෙයි, අපි කවුද කියලා ලෝකයට කියන්න ලැබෙන අවස්ථාවක්. සුඛෝපභෝගී හෝටලයක හෝ සාමාන්‍ය කෑම කඩයක පිළිගන්වන සෑම භෝජන අත්දැකීමක්ම අපේ අනන්‍යතාවය පිළිබිඹු කරනවා. ඒ වගේම අපේ ගෝලීය කීර්තිය වැඩි කරනවා. ඒ වගේම මිනිසුන් හා සංස්කෘතීන් අතර සම්බන්ධතා ගොඩනඟනවා.
ශ්‍රී ලංකාවට Bocuse D' or කියන්නේ අපි කොච්චර දුරක් ඇවිත්ද කියලා පෙන්නන, පෙරටත් වඩා විශාල අභිලාෂයන් කරා අපව ගෙන යන මඟ පෙන්වීමක්. අපේ සහභාගීත්වය ප්‍රමිතීන් ඉහළ නංවලා ගෝලීය අභිලාෂයන් දිරිමත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ නව පරම්පරාවක් පෝෂණය කරලා තියෙනවා.
සාම්ප්‍රදායිකව පිරිමින්ගේ ආධිපත්‍යය තිබූ ක්ෂේත්‍රයක් වන සූපවේදය අද වනවිට කාන්තා සූපවේදීන් රැසක් දැකීමට ලැබීම පිළිබඳ මම ඇත්තෙන්ම සතුටු වෙනවා.
මෙම උත්සවයේදී සිනමන් ලයිෆ් හෝටලය සඳහා රන් සම්මානය පිරිනැමුණු අතර, ෂැංග්‍රිලා හෝටලය රිදී පදක්කම ද ෂෙරටන් හෝටලය ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් විය.
සූපවේදීන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.