- ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්
- පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධව සේවා පවත්වාගෙන ගෙන යාමට යෝජනා
- ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට අවධානය
පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සහ ස්ථානගත පරීක්ෂාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.
පළමුව සෝමාවතිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත් අමාත්‍යවරයා යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීම අරමුණු කර ගත් විශේෂ සාකච්ඡාවක් පැවැත් වු අතර, 2025 වසර තුළ මෙම ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් සම්පූර්ණ කොට, ව්‍යාපෘතිය සඳහා ජාතික සැලසුම් දෙපාර්‌තමේන්තුවේ අනුමැතීන් ලබා ගැනීම, ව්‍යාපෘති සැලසුම්කරණය සම්පූර්ණ කර, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වෙන්කරවා ගනිමින් 2026 වසර තුළ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, ප්‍රතිකාර සේවාවන් පොළොන්නරුව ශික්ෂණ රෝහල හා ඒකාබද්ධව සිදු කිරීම යන කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන ලදි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලද්දේ සෝමාවතිය පූජා භූමිය සදහා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඇතුළු සෞඛ්‍ය මධස්ථානයක අවශ්‍යතාව දැඩිව පවතින බවයි. මෙතෙක් සකස් කළ සැලසුම් ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත්, මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යා යුතු බව ද අවධාරණය කරන ලදි.
එලෙස කටයුතු කිරීම තුළ මානව හා භෞතික සම්පත් කළමනාකරණය පහසු වන බැවින් ගැටළු සහගත තත්ත්වයක් අවම කර ගනිමින්, දෛනිකව පූජාභූමිය වෙත පැමිණෙන මෙන් ම අසල්වාසි පදිංචි ජනතාවට ගුණාත්මක සහ ඉහළ වටිනාකමකින් යුත් සෞඛ්‍ය සේවාවක් සැපයිය හැකි වනු ඇති බව ද පෙන්වා දෙන ලදි.
එමෙන්ම මේ වසරේ ඉදිරි කාලය තුළ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් සහ මුදල් වෙන් කරමින් ඉදිකිරීම් ආරම්භ කළ හැකි බවත්, ඉදිකිරීම් කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමේ හැකියාව පවතී ද යන්න සොයා බැලිය යුතු බව ද පෙන්වා දෙන ලදී.
ඓතිහාසික සෝමාවතිය පුදබිම ශ්‍රී ලාංකීය බොදු ජනයා වන්දනාමාන කරනු ලබන විශේෂ පුණ්‍ය භූමියක් වන අතර, දෛනිකව මෙම පුණ්‍ය භූමියට විශාල බැතිමතුන් පිරිසක් පැමිණේ. තව ද මෙම භූමිය රක්ෂිත වනාන්තරයකට මායිම්ව වනබඳව පවතින හෙයින් එහි පැමිණෙන පිරිසගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් තහවුරු කිරීම සම්බන්ධයෙන් සලකා බලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මෙම යෝජනාවට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත.
සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදේශකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි දී පුඡා භූමියට පැමිණෙන රෝගීන්ගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක දී ප්‍රතිකාර සිදු කිරීමට, හදිසි ප්‍රතිකාර ඇඳන් 04 කින් යුත් වාට්ටුවක්, බාහිර රෝගීන්ගේ ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සහිත ඖෂධාගාරයක් සහිත බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක්, ගිලන් රථයක් සහිත ගිලන් රථ අංගනයක් ඇතුළත්ව කාර්ය මණ්ඩල නේවාසික පහසුකම් ද සහිතව, හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මග පෙන්වීම යටතේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෘජු උපදෙස් මත මේ වන සිදු කරමින් පවතී.
මෙම අවස්ථාවන් සදහා සෝමාවතිය රජමහා විහාරාස්ථානයේ අනුනායක ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය තල්ගොඩපිටියේ ඉන්දගුප්ත හිමි ඇතුළු මහා සංඝරත්නය, නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පී බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.