Friday, July 11, 2025
Follow Us
ජනපති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලූ දේ

මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (11)  පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා  එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

රජය වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්‍රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මීට පෙර ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්‍රතිපාදන, එම ප්‍රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළේය.

2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල  ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඉඩම්, වාරිමාර්ග  යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය. 

එසේම, මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුව හෝ ලෝක බැංකුව මගින් ඒ පිළිබඳ නැවත අධ්‍යයනයක් සිදු කර, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තෙක් දෛනිකව මුහුණ දෙන ගැටලු විසදා ගැනීමට අදාළ කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

කැළිකසළ ගැටලුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය සහ ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මාතර දිස්ත්‍රික්කය තුළ පවතින දැනට පරිහරණයට නොගන්නා රජයේ විශාල ගොඩනැගිලි ඵලදායී සංවර්ධන කාර්යයන් සදහා යෙදවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා මාතර සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කළද, එය ඵලදායී කාර්යයක් සඳහා මෙතෙක් යොදවා ගෙන නොමැති බවත්, දිරාපත් වෙමින් පවතින එම ගොඩනැගිල්ල පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පොල්හේන යෝජිත ක්‍රිකට් පුහුණු පාසලේ ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර,  ඊට අදාළ යෝජනාව සකස් කර ඉදිරිපත් කරන ලෙසත්, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මැදිහත්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.  

මාතර දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන කර්මාන්ත හා ව්‍යසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, අජන්ත ගම්මැද්දගේ, චතුර ගලප්පත්ති, අර්කම් ඉල්යාස්, එල්. එම්. අබේවික්‍රම  යන මහත්වරුන් ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෝද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.