Friday, July 11, 2025
Follow Us
රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත්, විසඳිය නොහැක්කක් නොවේ - අගමැතිනී
නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත්, විසඳිය නොහැක්කක් නොවන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්යන්තර සමුළුවක් "පෝෂණීය දකුණු ආසියාව" යන මැයෙන් ජූලි 9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන අතර, ජූලි 9 වැනිදා එහි සමාරම්භක දිනයේ ප්රධාන ආරාධිතයා ලෙස අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගීවූ අතර එහිදී අගමැතිනිය මෙම අදහස් පළ කළාය.

එහිදී අදහස් දැක්වූ අග්රාමාත්‍යවරිය,
කළාපීය වශයෙන් අතිශය වැදගත් මෙවැනි සමුළුවකට මට ආරාධනා කිරීම ගැන පළමුකොට මෙහි සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරන්න කැමැතියි. මේ සමුළුවේ අපගේ අරමුණ “කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක, වළක්වා ගත හැකි රක්තහීනතාවයෙන් පෙළෙන්නේ නැති දකුණු ආසියාවක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම” යි. මෙම අරමුණ ඉටුකර ගන්න නම්, සෑම දැරියකටම පෝෂ්යදායී ආහාර, සෞඛ්ය අධ්යාපනය සහ ගුණාත්මක රැකවරණයකට අවස්ථාව සලසා දියයුතු වෙනවා. ඒ වගේම, කාන්තාවන්ට ඔවුන්ගේ පූර්ණ විභවය අවබෝධ කර ගැනීමට හැකිවෙන, ඒ සඳහා ඔවුන්ට දිරි දෙන පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා.
 
ඒ අරමුණ රජයකට පමණක් තනිවම ඉටුකරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි අපගේ ඉහත අරමුණට ආශීර්වාද කරන, ශක්තියක් වන, සමාජයේ සෑම අංශයකින්ම අලුත් කැපවීමක් සහ ප්රායෝගික ක්රියාවක් සඳහා සූදානම් සන්ධිස්ථානයක් හැටියට මෙම සමුළුව නිර්මාණය වී තිබෙන්නේ.
 
එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්රාමාත්යවරිය,
නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත් විසඳිය නොහැකි දෙයක් නොවේ. අලුත් කැපවීමකින්, කලාපීය සහයෝගීතාවයකින් සහ සාමූහික ක්රියාවකින්, අපට දකුණු ආසියාවේ අනාගත පරම්පරාවන් පෝෂණය කළ හැකි වන අතර ම, මන්දපෝෂණ චක්රය බිඳ දමා සෞඛ්ය සම්පන්න, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකිය යන්න මගෙත්, අපගේ රජයෙත් අපේක්ෂාව සහ විශ්වාසයයි. ඒ වෙනුවෙන් රජයක් හැටිය අපි උපරිමයෙන් කැපවෙන්න අදිටන් කරගෙන සිටින බව මම මෙහිදී මතක් කරන්න කැමැතියි. අපගේ පාසල් දරුවන් ඉලක්ක කරගත් පෝෂණ වැඩ සටහනෙත් එක් අපේක්ෂාවක් වෙන්නෙ ඒ දරුවන්ට නිසි පෝෂණය ලබා දීමෙන් ඔවුන් පෝෂණ ඌණතාවයට ගොදුරුවීම වළක්වා ගැනීමයි.