Friday, July 11, 2025
Follow Us
ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාව අමතමිනි. 

එදින පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රජමහා  විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. 

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමටද එක් වූ ජනාධිතිවරයා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද සහභාගී විය. 

ඉන්නතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ  රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත බවයි. ලොව දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක්ම එම දියුණුව අපේක්ෂා කරන්නේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සහ ඒ මත පා තබාගෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස අපද සංවර්ධන මාවත තෝරාගත යුතු වන්නේ ඓතිහාසික උරුමයන් මත පා තබා ගනිමින් බව සඳහන් කළේය. 

අපේ සමාජය සංස්කෘතික සමාජයක් බවට පරිවර්තනය කිරීමට බුදු දහම ඉවහල් වූ බවත්, භෞතික සම්පත් සර්වසම්පූර්ණ කර ගැනීමට වෙහෙසෙන සමාජයෙහි දියව යන සමාජ වටිනාකම් සහ ගුණාංග නැවත ඔප් නැංවීම සඳහා මෙවැනි සංස්කෘතික මංගල්‍යයන් වටිනා අවස්ථා නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

වසර 2186ක් පුරා පරම්පරා සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම රුහුණු කතරගම පෙරහර මංගල්‍යය පවත්වා තිබෙන බවත්, අඛණ්ඩව මෙම පෙරහර පැවැත්වීමට හැකි වූයේ මෙම සංස්කෘතික මංගල්‍යය සහ ජන ජීවිතය අතර තිබෙන සබඳතාව නිසා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට දායක වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුදෙනා වෙත ස්තූතිය පළ කළේය. 

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත්, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.