Thursday, July 10, 2025
Follow Us
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ.

බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය.

සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසල පුන් පොහෝ දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ඉතිහාසයේ ද වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයක වන අතර දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද අද වැනි පොහොය දිනයක බව සඳහන්ය.

විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්වැසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වීම විශේෂත්වකි.