මෙරට භාවිත වන භාෂාවල වැදගත්කම දරුවන්ට දැනෙන හා භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද 2026 වසරේ සිට අරඹන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ඇතුළත්ව ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
අග්රාමාත්රවරිය මෙසේ පැවසුවේ ඊයේ (07) පදනම් ආයතනයේ පැවති රාජ්‍ය භාෂා සතිය සමාප්ති උත්සවය අමතමිනි.
රාජ්‍ය භාෂා දිනය නිමිත්තෙන්, රාජ්‍ය භාෂා කොමිෂම මඟින් පාසල් මට්ටමින් පැවැත්වූ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා මෙහිදී සහතික පත්‍ර සහ ත්‍යාග ප්රදානය කිරීම ද සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“භාෂාව කියන්නේ සරලවම සන්නිවේදන මාධ්‍යයක් කියලා කියන්න පුළුවන්. නමුත් සංස්කෘතික, වාර්ගික සහ භාෂාමය විවිධත්වයන් තියෙන අපේ වගේ රටක, භාෂාව සන්නිවේදන මාධ්‍යයකට වැඩි දෙයක් නියෝජනය කරනවා. ඒ වගේම මේ සතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන හා එය පිළිගැනීමට ලක්කරන සතියක් පමණක් නොවෙයි. භාෂාවක අනන්‍යතාව, ගෞරවය සහ සියලු ජනතාව එක්කරන සාමකාමී සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් භාෂාවට ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය වෙත අවධානය යොමු වුණු සතියක්.
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවා තම තමන්ගේ මවු භාෂාවෙන් සිදු කරගැනීමට හැකි වන පරිදි අපේ රටේ ජාතික භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි අපේ රජයේ ස්ථාවරය. ඒ අයිතිය සියලුම ජනතාවට ලැබිය යුතුයි.
පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අප සියලු දෙනා අත්විඳි වේදනාකාරී ගැටුම්වලින් පෑරුණු, අපේ හිත් සුවපත් කොට, අප එකිනෙකා අතර සංහිඳියාවක් ඇති කිරීම වෙනුවෙන් භාෂාවට සුවිශාල කාර්යභාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. භාෂාවට එකිනෙකාගේ හදවත් යා කරන පාලමක් වෙන්න පුළුවන්. භාෂාවට සහකම්පනය පෝෂණය කරන සංවාද සහ සහජීවනය ඇති කිරීමට අවකාශ නිර්මාණය කරන්න පුළුවන්. අප එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය ආරම්භ කර අප අතර ඇති අවිශ්වාසයන් දුරුකර රිදුණු සහ තුවාල වුණු හදවත් සුවපත් කරන්නට භාෂාවට පුළුවන්.
පසුගිය කාලයක් පුරාවට රටක් විදිහට අප අත්විඳි ගැටුම් හටගැනීමට මූලික හේතු වුණේ දේශපාලනික හා ආර්ථික අසමානතා පමණක් නොවෙයි. විශේෂයෙන් ම භාෂාව සහ සංස්කෘතික අනන්‍යතාව බැහැර කිරීම නිසා, පිටමං කිරීම පිළිබඳ ඇති කළ හැඟීමත් ඒ තත්ත්වය ඇති වෙන්න දැඩිව බලපෑවා.
උසාවිය, පොලීසිය, අධ්‍යාපන, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පරිපාලන කටයුතු ආදී බොහෝ ස්ථානවල තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථාව නැති බව යම් ජනවර්ගයකට හැඟෙනවා නම්, එය හුදෙක් සේවා සැපයීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එවැනි අවස්ථාවල ඒ ජනතාවට තමන් මේ රටට අයත් නොවන, පිටස්තරයන්ය යන හැඟීම නිතැතින්ම ඇතිවෙන්න පුළුවන්. එනිසාම භාෂා භාවිතයේ දී සියලු ජන කොටස් වෙත සමාන අයිතියක් සහ ගරුත්වයක් හිමිවිය යුතු බව තහවුරු කළ යුතුයි.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂා හැටියටත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් විදිහටත් පිළි අරගෙන තියෙනවා. ඒ වගේම රාජ්‍ය භාෂා වෙනුවෙන් ශක්තිමත් නීතිමය පදනමක් සකස් වී තිබෙනවා. මේ නීතිමය පිළිගැනීම් අර්ථවත් වෙන්න නම් අපේ රටේ සියලුම ප්‍රදේශවල සහ ආයතන හරහා එම භාෂා භාවිතය ක්‍රියාත්මක වීම ශක්තිමත්, ස්ථාවර සහ සාධාරණ විය යුතුයි.
එවිට මේ රට විසින් රටේ සියලුම ප්‍රජාවන් සහ ඒ ප්රජාවන්ගේ සෑම අනන්‍යතාවක්ම පිළිගනු ලබන බවට සහතිකයක් වගේම, හැමෝම එක හා සමාන අයිතීන් ඇති පුරවැසියන්ය යන හැඟීමක් සියලුම ජනතාව තුළ ඇතිවෙනවා. සිංහල සහ දෙමළ සිසුන්ට එකිනෙකාගේ භාෂාවන් ඉගෙනගත හැකි පාසලක්, රෝගියකුට තමන්ගේ රෝග ලක්ෂණ තමන්ට වඩාත්ම සුවපහසු භාෂාවෙන් විස්තර කළ හැකි සහ ගෞරවයෙන් සැලකුම් ලැබිය හැකි රෝහලක්, පුරවැසියාට තේරෙන භාෂාවෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු වෙනවා.
මේවා සුපිරි පහසුකම් නොවෙයි, සංහිඳියාවෙන් යුතු සමාජයක ප්‍රායෝගිකව තිබිය යුතු සාමාන්‍ය තත්ත්වයන්.
2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට සෑම භාෂාවකම වැදගත්කම දරුවන්ට වඩාත් දැනෙන විදිහට වගේම, භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද ඇතුළත් කරලා තියෙන්නෙ ඒ නිසාමයි. ඒ වගේම විශේෂයෙන්ම දිවයින පුරා ද්වී භාෂා හා ත්‍රිභාෂා අධ්‍යාපනය ලබාදීමටත්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන රජයේ සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන්ගේ උත්සාහයන් අගය කරන්නත් මේක අවස්ථාවක් කරගන්න කැමැතියි.
භාෂාව බෙදුම් රේඛාවක් ඇති කරන මාධ්‍යක් වෙනුවට, විවිධත්වයෙන් යුක්ත සියලු දෙනා එකතු කරන සමාන පොදු අවකාශයක් ගොඩනඟන මාධ්‍යක් කරගන්න අපි සියලු දෙනාම උත්සාහ කරමු.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා,
සියලුම ජන කොටස් සඳහා සමානාත්මතාව, ගෞරවය සහ යුක්තිය සඳහා අපගේ නොසැලෙන කැපවීම තහවුරු කළ යුතුයි. භාෂාව තාක්ෂණික කාරණයක් නොවෙයි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මඟින් නිරූපණය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයකුගේ අනන්‍යතාවේ හදවතයි. ඒ වගේම මතකයේ හඬයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්.
භාෂාව ගැඹුරු චිත්තවේගීය කාරණාවක්. කෙනකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් ඇඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක්. යටිතල පහසුකම් ලබාදීමෙන් හෝ සටන් පාඨ හරහා පමණක් ජාතික ඒකාබද්ධතාවය සාක්ෂාත් කරගත නොහැකි වන්නේ මේ නිසයි. ජාතීන් අතර සංහිඳියාව ඇති වන්නේ භාෂා ප්‍රතිපත්ති, භාවිතයන් බවට පත්කිරීමෙන්.
අපගේ ඉතිහාසය දිහා හැරිලා බැලුවම, භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීමට අපොහොසත් වීම කුඩා වැරැද්දක් නොවන බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුයි. එය විශාල අසාධාරණයක් ඇති කළා පමණක් නොවෙයි, ජාතීන් අතර අවිශ්වාසය, අසමගිය සහ අවසානයේ ආයුධ සන්නද්ධ ගැටුමකට පවා දායක වූ සංසිද්ධියක් වුණා. මේ පාඩම හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතිහාසය පුනරාවර්තනය වීම අනිවාර්යයයි. ඒ නිසා එය අප නැවත නොකළ යුතු උගත් පාඩමක් විදිහට සැබෑ ගැඹුරකින් වටහාගෙන කටයුතු කළ යුතුයි. මේ අර්ථයෙන් භාෂාව සාමය සඳහා වූ සිතුවිල්ලක් පමණක් නොවේ. සාමයේ පදනම භාෂාවයි.
සමානාත්මතාව නොමැතිව කල්පවතින සාමයක් තිබිය නොහැකියි. රාජ්‍යය තම ජනතාවගේ භාෂාවට ගරු කිරීමට අපොහොසත් වුවහොත් සමානාත්මතාවක් ඇති වන්නේ නැහැ. අපි ඒක තේරුම් ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. භාෂා අයිතීන් සම්බන්ධව නීතිමය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. කඩදාසි මත ඇති අයිතිවාසිකම් ජනතාවගේ ජීවිතවල යථාර්ථයන් බවට පත්විය යුතුයි.
සියලුම ආයතන හරහා රාජ්‍ය භාෂා දෙකෙන්ම ජනතාවට තමන්ගේ කටයුතු කරගැනීමේ ප්‍රවේශය සහතික කිරීම, භාෂා අයිතිවාසිකම් වරප්‍රසාදයක් ලෙස නොව මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කිරීම, සියලුම රාජ්‍ය ආයතනවල වගවීමේ යන්ත්රණයන් හා ජාතික භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා භාෂා යුක්තිය රිදුණු හදවත් සුවපත් කිරීමේ කුලුනක් බවට පත්වන බවට සහතික කිරීම සහ අපගේ තරුණයන්ට සහ රාජ්‍ය සේවකයන්ට ද්විභාෂා සහ ත්‍රිභාෂා හැකියාව ලබාගැනීම බරක් ලෙස නොව අන්‍යෝන්‍ය අවබෝධය සඳහා පාලමක් ලෙස වැලඳ ගැනීමට බලගැන්වීම වැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටිනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙණෙවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.