Monday, July 07, 2025
Follow Us
ජාතික අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹෙයි

දහවන ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ජූලි 11 වනදා දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම, අනතුරු නිවාරණය තුළින් ශ‍්‍රී ලාංකේය ජනතාව වෙත සුරක්ෂිත මෙන්ම පැහැබර හෙට දිනක් උදාකරලීම සඳහා දියත් කරන මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් ජනතාවගේ අවධානය සහ ඊට අවශ්‍ය සහය මේ කෙරෙහි නිරන්තරයෙන් යොමු කිරීමද අපේක්ෂා කරයි.

බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.

දහවන ජාතික අනතුරු නිවාරණ සතිය -

2025 ජූූලි 07 වැනි දින සිට ජූලි 11 දින දක්වා

ශ‍්‍රී ලංකාව තුල සිදුවන රෝහල්ගතවීම් අතුරින් හදිසි අනතුරු ප‍්‍රධාන සාධකය බවට හඳුනාගෙන ඇත. තවද, ආබාධිත තත්යන් සහ මරණ සඳහාද හදිසි අනතුරු විශාල ලෙස හේතු කාරක වේ. වසරකට මිලියන ගනනාවක් අනතුරු වලට ගොදුරු වන අතර, මිලියනයකට අධික පුද්ගලයින් ගණනක් අනතුරු නිසා රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබති.  ඇස්තමේන්තූ වලට අනුව අනතුරු නිසා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතු ගණන දල වශයෙන් වසරකට මිලියන තුනක් (3) පමණ විය හැකි වන අතර, එයින් හැඟෙන්නේ සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 7 දෙනෙකූගෙන් එක් අයෙකූම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතූ ආකාරයේ අනතුරකට පත්විය හැකි බවයි. එනම්, සෑම විනාඩියකටම අවම වශයෙන් ශ‍්‍රී ලාංකිකයින් 6 - 8 දෙනෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකිය. එමතුදු නොව, එදිනෙදා ජීවිතයේ දී සිදුවන අනතුරුද සළකන විට, සෑම ශ්‍රී ලාංකිකයෙකුම සෑම වසරකම අඩුම ගණනේ එක් අනතුරකට හෝ ලක් විය හැකිය. මේ සෑම අනතුරකම සැඟව ඇති අපට නොපෙනෙන එසේම අපට නොදැනෙන ඛේදවාචකය නම් මේ බොහොමයක් අනතුරු අපේ සුලු දැනුවත් වීමකින් හෝ ඉතාමත් සුලු මැදිහත්වීමකින් වළක්වාගත හැකි වීමයි. 

අනතුරු වලට ගොදුරුවන්නන් ගෙන් බහුතරයක් ඵලදායී වයස් සීමාවට අයත් වන අතර (වයස අවු 15 සහ 44), එම වයස් කාන්ඩයේ පුද්ගලයන් අතර සිදුවන මරණ වලට ප‍්‍රධාන හේතුව වන්නේ ද අනතුරුය. හදිසි අනතුරු හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා ශ‍්‍රී ලංකාවේ රෝහල්වෙත යොමු කෙරෙන රෝගීන්ගෙන් වාර්ෂිකව 2500 - 3000 ක් අතර ගණනක් මියයන අතර, රෝහල්වල සිදුවන මරණ වලට හේතුවන සාධක අතුරින් 10 වන තැන ගන්නේ ද හදිසි අනතුරුය. එසේ වූවත් ශ‍්‍රී ලංකාව තුල වාර්ෂිකව සිදුවන 145000 පමණ වන සමස්ථ මරණ අතුරින් 8% ක් හෙවත් 10000 - 12000 කගේ පමණ ජීවිත හදිසි අනතුරු නිසා ශ‍්‍රී ලංකාව ට අහිමි වේ. එනම් සෑම මසකම දළ වශයෙන් 1000 දෙනෙකුගේ පමණ,  එනම්   දිනපතාම 30 දෙනෙකුගේ පමණ, එසේ නැතහොත් සෑම පැය තුනකදීම අවම වශයෙන් 4 දෙනෙකු ගේ පමණ ජීවිත විවිධ අනතුරු නිසා රටට අහිමි වේ. මෙහි විශේෂත්වය වන්නේ හදිසි අනතුරු මරණ 7500 - 8000 කට අධික ගණනක් සිදුවන්නේ ප‍්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමු කිරීමටත් පෙර වීමයි.  

ශ්‍රී ලංකාවේ දැනට රජයේ රෝහල් ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ජාතික අනතුරු ආවේක්ෂණ පද්ධතියට අනුව, රජයේ රෝහල් වලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන අයගෙන් බහුතරයක්, එනම් 25 – 27% ක් පමණම ඇතුළත් වන්නේ විවිධ හේතු නිසා වන වැටීම් ආශ්‍රිත තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි.  15% දක්වා ගණනක් රථ වාහන අනතුරු නිසාත්, සත්ත්ව සපාකෑම්, විවිධ ද්‍රව්‍යයන් සිරුර මතට වැටීම්, දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන පුද්ගල පහර දීම්, කැපීම් කෙටීම් වැනි හේතු නිසා පිළීවෙලින් 15%, 14%, 11% සහ 8% දක්වා ගණනක් රජයේ රෝහල් වලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වේ. එසේම, බාහිර රෝගී අංශයෙන් අනතුරු සඳහා ප්‍රතිකාර ලබන්නන් අතුරින් 70% ක් වැනි අති බහුතරයක්ම සත්ත්ව  සපාකෑම් වලට ලක් වූ පුද්ගලයින්ය. නොදැනුවත්ව (චේතනාවකින් තොරව) සිදුවන අනතුරු නිසා වන මරණ අතර මාර්ග අනතුරු ප‍්‍රධාන ස්ථානයක් ගන්නා අතර, ඒ හේතූවෙන් වසරකට ජීවිත 2500 ක් පමණ අහිමි වේ. දැනුවත්ව (චේතනාවකින් යුතුව) සිදුවන අනතුරු  අතර ප‍්‍රධාන තැනක් ගන්නා සියදිවි හානිකර ගැනීම් නිසාත් වසරකට ජීවිත 3000 කට අධික ගණනකගේ  ජීවිත රටට අහිමි වේ. මීට අමතරව, වැටීම්, දියේගිලීම්, විවිධ ද්‍රව්‍ය විෂවීම්, සත්ත්ව දෂ්ඨ කිරීම්, සතුන් පහරදීම් මෙන්ම සාහසිකකම්, සහ මිනීමැරුම් ආදී අනතුරු නිසාද දහස් ගණනකගේ ජීවිත අහිමි වේ. එසේම, වාර්තාවන අනතුරු වලින් 50% කට වඩා වාර්තා වන්නේ නිවාස සහ ඒ ආශ්‍රිත පරිසරයේ වන අතර,  25% කි පමණ මාර්ග ආශ්‍රිතව සිදුවන අනතුරු යි. මීට අමතරව, තවත් දස දහස් ගණනක් අනතුරු නිසා ඇතිවන විවිධ ආබාධ හේතුනේ සමහර විට සිය ජීවිත කාලය පුරාවටම ආබාධිතව ගත කරති.  මේ සියල්ලම සැළකීමේ දී අනතුරු, හුදෙක් එ්වාට ගොදුරු වන පුද්ගලයන්ට පමණක් නොව, පවුලේ අනික් සාමාජිකයින්ට සහ පොදුවේ සමාජයටම විනාශකාරී දීර්ඝකාලීන බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත. අනතුරු වැලැක්වීම සඳහා සුදුසු ක‍්‍රියාමාර්ග නොගතහොත්, නාගරීකරනය කාර්මීකරනය, යාන්ත‍්‍රීකරනය සහ යටිතල පහසුකම් වර්ධනය වීම නිසා වේගයෙන් සිදුවන ජීවන රටාවේ වෙනස්කම් හේතුවෙන්, මීලඟ දශකය තුලදී අනතුරු පිළිබඳ ප‍්‍රශ්නය තවදුරටත් බැරෑරුම් වන බව බලාපොරොත්තු විය හැකිය. මීට අමතරව, සෞඛ්‍යය සඳහා වාර්ෂිකව වෙන් කරන සමස්ථ අයවැයෙන් සැළකිය යුතු ප‍්‍රතිශතයක් අනතුරු වලට ලක් වූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වැයවේ. මේ සියල්ල සලකා බලන විට, අනතුරු රටේ සමස්ත සංවර්ධනයට, ආර්ථික වර්ධනයට සහ ඵලදායිතාවයට ඉතා බරපතල බලපෑමක් ඇති කරයි.      

ඉහත තොරතුරු විමසීමේ දී පැහැදිලිවම පසක් වන කරුණ වන්නේ අප බොහෝ විට එදිනෙදා ගැවසෙන සෑම තැනෙකම විවිධ ආකාරයෙන් විවිධ අනතුරු සැඟව ඇති බවත්, ප‍්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් සහ ඒ ඒ ස්ථාන ඉතා සැළකිල්ලෙන් පරිහරණය කිරීමෙන් බොහොමයක් අනතුරු වළක්වා ගත හැකි බවත් ය. අනතුරු සියල්ලක්ම පාහේ වළක්වාලියහැකි වූවත්, දැනුම මඳකම, නිසි ආරක්ෂක ක‍්‍රමෝපායන්  අනුගමනය නොකිරීම, නීතයට අනුගත නොවීම, නොසැලකිළිමත්කම, ප‍්‍රථමාධාර පිළිබඳ නිපුණතාව අඩුකම සහ රෝගීන් ප‍්‍රවාහනය කිරීමේ අඩුපාඩුකම්, අහිතකර පාරිසරික තත්ත්ව, වාහන වල සහ වෙනත් යන්ත‍්‍ර වැනි උපකරන වල  අඩුපාඩු වැනි කරුණු ගණනාවක් නිසා මෙම අරමුණ ඉටුකර ගැනීම අපහසු වී ඇත. එය එසේ වූවත්, අනතුරු  වැළැක්වීම සම්බන්ධ බොහෝ කරුණු පුද්ගලයානුබද්ධ නිසා, ඒ ඒ  කරුණු පිළිබඳ ජනතාවට සැළකිය යුතු දැනුමක් සහ අවබෝධයක් ලබාදීම තුලින් මෙම බරපතල තත්ත්වය බොහෝදුරට අවම කරතහැකි බව ද හඳුනාගෙන ඇත.

එබැවින් ඉහත සියළුම කරුණු හොඳින් සැළකිල්ලට ගනිමින්, අනතුරු නිවාරණය පිළිබඳව පොදු ජනතාවගේ දැනුවත්කම වැඩිදියුණු කිරීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණය පිළිබඳ කේන්ද්‍රීය එ්කකය වන බෝනොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මෙහෙයවීම මත ජාතික අනතුරු නිවාරන සතියක්  සෑම වසරකම ජූලි මස පළමුවන සඳුදා සිට සිකුරාදා තෙක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම වසරේත් දහවන (10) වරට ක්‍රියාත්මක කෙ‌රෙන මෙම වැඩසටහන, 2024 ජූලි මස 07 වැනි දින සිට 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. මෙම සතිය ක්‍රියාත්මක කිරීමේදී, ඒ ඒ කාර්යය සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවල සහයෝගය සහ සම්බන්ධතාවය ලබා ගනු ඇත.

ඉහත දැක්වූ කරුණු අනුව, අනතුරු වැඩි වශයෙන් සිදුවිය හැකි අප බොහෝ දෙනෙකු එදිනෙදා ජීවිතයේ දී වැඩියෙන්ම ගැවසෙන සහ පරිහරණය කරන ස්ථාන පිළිබඳව මනාව සැළකිල්ලට ගනිමින්,  ජූලි 07 වැනි දින සිට 11 වැනි දා දක්වා වූ දින 5 සඳහා විවිධ කාර්යයන් සඳහා හඳුනාගෙන ඇත.

දිනය

කාර්යය

ජූලි 07 - පළමුවන දිනය

මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය

ජූලි 08 - දෙවන දිනය

සේවා ස්ථානයන්හි අනතුරු වැළැක්වීමේ දිනය

ජූලි 09 - තෙවන දිනය

නිවෙස් සහ වැඩිහිටි නිවාස වලදී වන අනතුරු වැළැක්වීමේ දිනය

ජූලි 10 - හතරවන දිනය

දියේ ගිලීම් වලින් වන අනතුරු වැළැක්වීමේ දිනය

ජූලි 11 - පස්වන දිනය

පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය

මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීන්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරේ. මීට අමතරව, මෙම සියළුම කාර්යයන් අනතුරු නිවාරණ සතියට පමණක් සීමා නොවී, අනෙකුත් අදාල පාර්ශව සමග ඒකාබද්ධව දිගු කාලීනවද ක්‍රියාත්මක කිරීමද අපේක්‍ෂාවයි.