කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්රියාත්මක කරන කෘෂි රක්ෂණ, පශු රක්ෂණ, කෘෂිකර්මිකයන්ගේ හදිසි අනතුරු රක්ෂණය ඇතුළු රක්ෂණ යෝජනා ක්රම සහ ගොවි විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රම ආදිය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ සක්රිය වැඩපිළිවෙළක් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ උපදෙස් අනුව සකස් කර ඇත.
ඒ් අනුව මෙම වැඩපිළිවෙළ යටතේ ජංගම වැඩසටහන් මාලාවක් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත.
රක්ෂණ හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රමවල ප්රතිලාභ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කර ඒ සඳහා දායකකරගැනීම, මෙම යෝජනා ක්රමවලට දායකවී සිටින ගොවීන්ට පවතින ගැටලු නිරාකරණය කිරීම මෙම ජංගම වැඩසටහන්වල මූලික අරමුණයි
ඒ අනුව ජූනි මාසයේදී එම වැඩසටහන කළුතර දිස්ත්රික්කයෙන් ආරම්භ කළ අතර කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ ප්රධාන කාර්යාලයේ සහ කළුතර දිස්ත්රික් කාර්යාල නිලධාරින් හා කළුතර දිස්ත්රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් ගොවිජන වසම් කේන්ද්ර කරගනිමින් සාර්ථක ලෙස පැවැත්විණි.
එහි දෙවන පියවර ලෙස ජූලි 01 සිට ජූලි 31 දක්වා ගම්පහ දිස්ත්රික්කය තුළ මාසයක් පුරා ගොවි විශ්රාම වැටුප් ක්රමය පිළිබඳව දැනුවත්කිරීම හා දායක කරවා ගැනීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්රික්කයේ ඌරාපොළ , මිනුවන්ගොඩ, ජා ඇල, නිට්ටඹුව, කැළණිය, වල්විට, යක්කල, පස්යාල, යන ගොවිජන සේවා මධ්යස්ථාන ආශ්රිතව මෙම ප්රවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.