Thursday, July 03, 2025
Follow Us
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පරවියන් 65ක් සමඟ සැකකරුවන් 02ක් හමුදා භාරයට

මන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ පසුගියදා (30) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට රැගෙන ආ පරවියන් 65 දෙනෙකු රැගත් ඩිංගි යාත්‍රාවක්  සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව,පසුගිය 30 වැනි දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් නඩුකුඩා නාවික අනුඛණ්ඩයේ ස්ථාපිත කර ඇති රේඩාර් පද්ධතිය වෙතින් සැකකටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කිරීමෙන් පසු, එම වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකල අතර, එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවෙන් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ආ, කූඩු 3ක දමා සිටි පරවියන් 65 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 28ක් සහ 43ත් ‍වන පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා, ඩිංගි යාත්‍රාව සහ පරවියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.