Saturday, May 17, 2025
Follow Us
ලංගමයට ලංකා අශෝක් ලේලන්ඩ් නව එන්ජින් කට්ටල

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගත් නව එන්ජින් කට්ටල ලංගම ඩිපෝ වෙත බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සිදුවිය.

නවතම  එන්ජින් කට්ටල 70ක්‌ මේ යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 490 ක් වේ. වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී සංකේතාත්මක ලෙස දිවයින ඩිපෝ 12ක්‌ වෙත නව එන්ජින් කට්ටල භාරදීම සිදු විය.

දැනට දිවයින පුරා ඩිපෝවල අලුත්වැඩියාවට නියමිතව භාවිතයෙන් ඉවත් කර ඇති බස් රථ මෙම එන්ජින් කට්ටල යොදා අලුත් වැඩියා කිරීමට නියමිත වේ. එලෙස අලුත්වැඩියා කරන බස් රථ දුර ගමන් සේවා  ඇතුළු සේවාවන් සඳහා විශේෂයෙන් යොදා ගැනීම ලංකාගමනාගමන මණ්ඩලයේ අරමුණයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු විධායක නිලධාරීන්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් මහතා ඇතුළු නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.