Wednesday, May 15, 2024
Follow Us
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය මැයි 31 දා දක්වා දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇත.

පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද දිවයින පුරා ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය 2024 මැයි 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරිණි.

“Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි ජාති, ආගම් බේදයකින් තොරව දිවයින පුරා ජනතාව ඒ සමඟ අත්වැල් බැඳගනු ලැබීය.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දුන් අතර ඉතිරි පරිත්‍යාගද ඉදිරියේ දී නිල වශයෙන් පලස්තීන රජය වෙත භාරදීමට නියමිතය.

2024 මැයි 31 දක්වා පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් මැයි 31 දිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.

මේ අතර, ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව විසින් පසුගියදා ප්‍රදානය කළ මූල්‍ය ආධාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ (UNRWA) කොමසාරිස් ජනරාල් ෆිලිපේ ලැසරිනි (Philippe Lazzarini) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ විසින් සිදු කරන ලද හදිසි ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාව විසින් ලබා දෙන ලද දායකත්වය මඟින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ රැකවරණය යටතේ සිටින මිලියනයකට අධික පිරිසකගේ අත්‍යාවශ්‍ය මානුෂීය අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද මෙම ලිපියෙහි සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කර ඇති සහන සැලසීමේ වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමේදී පවතින ගැටළුකාරී තත්ත්වය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති ලැසරිනි මහතා එම වැඩසටහන් ඵලදායීව සිදු කිරීම සඳහා හවුල්කරුවන් විසින් ලබාදෙන දායකත්වයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද සඳහන් කර ඇත.

පලස්තීනයේ සිටින සරණාගතයින් සහ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ශ්‍රී ලංකාව විසින් ලබාදෙන දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කරන ලැසරිනි මහතා, ඉදිරියේදී ද ශ්‍රී ලංකා රජයෙන් අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව ද සඳහන් කර තිබේ.