Monday, April 29, 2024
Follow Us
මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික උප නගරය ලෙස කටුගස්තොට සංවර්ධනයට සැලසුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මහනුවර සංවර්ධන සැලැස්ම යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික උපනගරය වශයෙන් කටුගස්තොට සංවර්ධන කිරීමට සැලසුම් කොට ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

පසුගියදා පැවති කටුගස්තොට මැණික්කුඹුර තොග වෙළඳ මධ්‍යස්ථානයට යාබදව සිල්ලර වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් ඒ මහතා මේ බව කීවේය. වෙළඳ සංකීර්ණය කඩ කාමර 80කින් සමන්විත වන අතර එළවළු, පළතුරු ඇතුලු සෙසු සිල්ලර වෙළදාමෙන් මෙම වෙළඳ සංකීර්ණය සමන්විත වේ.

මහනුවර මහ නගර සභාව, ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය හා එක්ව වසර 06ක කාලයක් කරන ලද අධ්‍යයනය අනුව මෙම සංවර්ධන වැඩසටහන දියත් කරන බව කී ඒ මහතා එම අධ්‍යයනයේ සැලැස්ම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇතැයි ද කීවේය.

ඒ අනුව මහනුවර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ කටුගස්තොට නගරය සංවර්ධනය කරන්නේ ආර්ථීක උප නගරය වශයෙන් යැයි නාගරික කොමසාරිසවරයා පැවසුවේය. මේ යටතේ මහනුවර කොළඹ අධිවේගී මාර්ගය කටුගස්තොටට සම්බන්ධ වන බවත් මාතලේ කුරුණෑගල මාර්ගය සංවර්ධනය කිරීම සිදුවන බවත් නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.